Thursday, November 15, 2012

මේ ලොව යම් කිසිවෙකු... මා හට පෙම් කල බව..



මිනිස්සු විවාහ වෙන්නේ ඇයි? ඇය අසයි. ඇයට පිළිතුරක්ද ලැබෙයි.

ඒ ඇය බලාපොරොත්තු වූ පිළිතුර නොවන නිසා ඇයම ප්රශ්නයට පිළිතුරු සපයයි.

අපි විවාහ වෙන්නේ අපේ ජීවිතයට සාක්ෂිකාරයෙක් ඕනේ නිසා. මේ ලෝකේ මිනිස්සු බිලියන ගණනක් ඉන්නවා, එතනින් එක ජීවිතයක ඇති වැදගත්කම මොකද්ද? ඒත් විවාහයකදී, අනෙකාගේ ජීවිතේ හැම දෙයකදිම ලඟින් ඉන්න අපි පොරොන්දු වෙනවා. හොඳ දේවල්, නරක දේවල්, සාමාන්ය දේවල්, හැමදේම... හැම වෙලාවෙම…. හැමදාම. අපි අනෙකාට දෙන පණිවිඩේ තමයි 'ඔයාගේ ජීවිතේ කාගේවත් අවධානයට ලක් නොවී ගෙවෙන්නෙ නෑ, මොකද ඔයාගේ ජීවිතේ මගේ අවධානයට ලක් වෙන නිසා, ඔයාගේ ජීවිතේ කිසිකෙනෙක් නොදැකම ගෙවෙන්නෙ නෑ, ඒ ජීවිතය දකින්න මම ඉන්න නිසා.

මේ දෙබස ඇතුලත් වෙන්නේ  Shall we Dance චිත්රපටියේ.

ඇයි අපි බ්ලොග් ලියන්නේ? මට හිතෙනවා අර කලින් පිලිතුර තුළම ඒකටත් උත්තරේ තියනවා කියලා.

යමක් කමක් හිතන්න පුළුවන් හැමෝටම ජීවිතේ එක කාලෙකදි යම්කිසි තනිකමක් දැනෙනවා කියල මට හිතෙනවා. මේක භෞතිකව දැනෙන තනිකමක්ම නෙමෙයි. මිතුරු ඇසුරෙන්, ප්රේම සම්බන්ධයකින්, විවාහයකින් හැමවෙලේම මේ තනිකම නැතිකරන්න බැහැ. මේ තනිකම ඇතිවෙන්නේ තමන්ගේ සිතුවිලිම, තමන්ගේ අදහස්ම, තමන්ගේ මතවාදම දරන තවත් අය ලෝකෙ කොහේ හරි ඉන්නවද කියන සිතුවිල්ල එක්කයි. ඇපි හැම වෙලේම තමන්ට සමානයෙක් හොයාගෙන යනවා. තමන්ගේ සිතුවිලි තවකෙක් තුලින් දකින්න උත්සහකරනවා. තමන්ගේ අදහස් බෙදාහදාගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවද කියලා හොයනවා.

සමහර වෙලාවට, තමන්ගේ අදහස්, සංකල්පනා සියල්ල සම මට්ටමෙන් බෙදාගැනීමේ හැකියාව විවාහ වූ යුවලකට නැහැ. විවාහයකට ඒක අත්යාවශ්ය කාරණයක් නෙවෙයි. විවාහයකදී අපි බලාපොරොත්තු වෙන්නේ එකට ජීවත්වීම තුල එකිනෙකාට අපි දක්වන ආදරය, අවධානය සහ අනෙකාගේ ජීවිතය පිළිබඳ අපට ඇති අවබෝධය. එතැනදි, මම කියවන පොතක ඇති අදහස්, මතවාද ඒ අයුරින්ම මගේ බිරිඳ තේරුම්ගැනීමට වඩා වැදගත් වෙන්නේ මම පොත් පත් කියවන්න කැමති බවත්, සමහර විට මොනවගේ පොත්පත්ද කියන දේ ඇය තේරුම් ගැනීමයි. සොඳුරු සිත බ්ලොගේ තිබ්බ නිර්මාංශ කතාව වගේ.... සැමියා නිර්මාංශ වූ පමණින් බිරිඳත් නිර්මාංශී වීම නොවෙයි, දෙදෙනාගේ ප්රියතාවයන් ගැන දෙදෙනා තේරුම්ගැනීමයි විවාහයකදී විය යුත්තේ.

නැවතත් ප්රධාන මාතෘකාවට....

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගේ ලඟ තනියට එනු මැනවී
මගේ ලඟ තනියට එනු මැනවී....

ස්ත්රී පුරුෂ ප්රේමය මුල්කරගෙන ලියැවුණත්, මේ ගීයෙන් කියවෙන සත්යය සහෘදත්වය පිළිබඳවත් වලංගුයි කියලා මම හිතන්නේ. කවදාහරි මරණයෙන් අවසන් වෙන අපේ ජීවිතය, කිසිවෙකු නොදන්නා, කිසිවෙකුට මතක නැති තවත් නිකම්ම නිකම් ජීවිතයක් වෙයිද කියන බය හැමවෙලාවෙම අප තුල තියනවා. ඉතින් අපි අපේ ජීවිත තව කෙනෙකුට වැදගත්, තව කෙනෙකුට මතක තියන ජීවිතයක් කරන්න උත්සහ ගන්නවා, සමහර විට එහෙම කරනවා කියන සම්පූර්ණ අවබෝධයන් නෙමෙයි. ඉතින් අපි බ්ලොග් ලියනවා. අපිට හිතෙන්නේ අපි දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදාගන්නවා කියන සිතුවිල්ලයි. නමුත් අපි අවංකව තව ටිකක් හිතුවොත්, ඇත්තටම අපි කරන්නේ, අපි කියන කරන දේ දකින, ඒ ගැන අවධානයෙන් ඉන්න සහෘදයන් පිරිසක් එකතු කර ගැනීම නොවේද?

"සමහර විට මට කියලා යන්න බැරි වෙයි..හිටි හැටියේ නොකියම යන්න වෙයි මට...  ඒ හින්දා කල් ඇතිවම කියලා තියෙන එක හොඳයි... හැමෝටම ආයුබෝවන්...! "

මේ ලඟදී දවසක බ්ලොග් අවකාශයේ පහුකරගෙන යන්න අපහසුවක් දැනුන වචන පේළියක්... මම කියන්න උත්සහ කරන දේ මේ වචන කීපය ඇතුලේ තියනවා කියලා මට හිතෙනවා. තමන්ගේ මරණය අපේ එදිනෙදා ජීවිතයේ නිතර කතාබහ කරන මතෘකාවක් නොවුනාට, අපි කියන කරන දෑ වල මරණය කෙරෙහි අපේ ආකල්ප සැඟවිලා තියනවා.

මට සමාවෙන්න....

මේක නැවත කියවාගෙන යනකොට, මම අසාධාරණ විදිහට 'මගේ' ආකල්ප තුලින් 'අපි' කරන දේ වටහාගන්න උත්සහ කරල තියන බව මට හිතෙනවා. හැමෝම බ්ලොග් ලියන්නේ මම මේ කියන හේතුව නිසාම නොවෙන්න පුළුවන්. නමුත් ඇපි හැමෝගෙම බ්ලොග් යටින් පොදුවේ දිවෙන්නේ මේ හේතුව කියලා හිතන්න මම කැමතියි. එහෙම හිතනකොට, යම් සැහැල්ලුවක් දැනෙන නිසා, මං වගේ තවත් අය ඉන්නවා කියලා දැනෙන නිසා.

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි

මහගමසේකරයන්ගේ පෑන් තුඩෙන් ලියැවුන මේ ගීතයේ ආරම්භක පද පෙලත් එක්ක මම නවතින්නම්. මොහොතකටවත්, මගේ තනිකම නැති කරන්න හරි, ඔබේ තනිකම නැති කරගන්න හරි ඕනේ නම් පහල සුදු පාට කොටුවක් ඇති... මතක සටහනක් තියලා යන්න.



ප.ලි.
නිතරම ලිපි පල නොකලත්, නිතරම කොමෙන්ට් දාන්න බ්ලොග් වල ඇවිදින නිසා, මම තෙසතියක විරාමයක් ගන්නවා කියලා කියල යන එක හොඳයි කියල හිතුනා.

Monday, November 5, 2012

රාවණාගේ දුන්න, බොරු ඇහැ සහ බලුමැක්කා




මම උදේ ඇහැරලා කොම්පීටරේ ලඟ වාඩි උනාම මොකද්දෝ 'පුසුඹක්' එනවා. මම කල්යාණි හඳුන්කූරු පත්තුකරන්නෙවත්, රාණි සඳුන් සබන් ගාල නාන්නෙවත් නැති නිසා මම බැලුවා මේක මේ කොහෙන්ද එන්නෙ කියලා. අත පොඩ්ඩක් මූණට ලං කරලා කටින් හුස්මක් ඇරලා බැලුවා මගෙ ජීවන සුවඳට කෙලවෙලාද කියලා. ම්ම්හු... අවුලක් නෑ, ඊයෙ රෑ බීපු කිරිවල සුවඳ තාම තියනවා. පොඩ්ඩක් හොයලා බලනකොටයි වැඩේ අහුවුනේ... දෙයියනේ මගේ බ්ලොග් එක පැත්තකින් පුස්කාලා නරක්වේගන එනවා. කවුද දන්නේ බ්ලොග් පාවිච්චි නොකර නිකං හිටියාම පුස් කනවා කියලා. ඉතින් පොඩ්ඩක් දූවිලි කුණු ගසලා, පුස් ටික කඩලා දාල, මකුළු දැල් පිහදාල එහෙම පටං ගත්තා මොනවා හරි ලියන්න.

බරපතල මාතෘකාවක් ආව ඔලුවට... "පූර්ණ නිදහස් වෙළඳපොල ආර්ථිකයක් යටතේ මතු විය හැකි සමාජ ගැටළු".... සෑහෙන වෙලා කල්පනා කරලත් කිසිම ගැටළුවක් හිතාගන්න බැරිවෙච්චි නිසා තව මාතෘකාවක් හිතුවා.

"අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය, දැනටමත් වළදැමීමට සූදානම් කර ඇති නීතියේ ආධිපත්‍යයේ මිනීපෙට්ටියට ගසන අවසාන ඇණයද?" ඔන්න, 'බික්ක' කිව්ව දෙයක් මතක් වෙනවා... 'ලංකාවෙ ප්‍රශ්න ගැන කතාකරන්න රට අතැරල ගිය උඹලට සදාචාරාත්මක අයිතියක් නැහැ'... සදාචාරය බල්ලට දාල අම්මප දෙකක් ලියන්න හිතෙනවා... ඒත්.... එක්කෝ ඕන්නෑ.

රාජ් තමයි ඔය වෙලාවේ පිහිටට ආවේ.... සූටි සූටි කතන්දර ටිකක්... ලේසියි, පහසුයි... කට්ටියත් කැමතිවෙයි. ඉතිං උගේ නවාතැනේ කොණක තිබ්බ පුංචි පොටෝ එකක් අරන්, පින්ට් කොරල, 'මලක්' තියල, දුං ටිකක් අල්ලල, පිං දීලා ලියන්න ගත්තා. හප්පේ දුං ටිකක් වැදුනාම තියන සනීපේ.....

-----------------------------------------------------------------------

ඔන්න දවසක්.. අර පාසල්වල හරියට වැඩ කෙරෙනවද කියලා බලන්න එන පරීක්ෂක මහත්තුරු ඉන්නේ.... ආන්න එයින් මහත්තයෙක් ගියාලු ඉස්කෝලෙකට. නිදිකිරා වැටි වැටි කොල්ලො ටිකක් හිටපු පංතියකට ගොඩවෙලා, ගුරුවරයාගෙන් පාඩං පොත ඉල්ලගෙන, එයාට එළියට යන්න කියලා ඇහුවලු ළමයින්ගෙන් ප්‍රශ්නයක්. කොහෙන්ද පිංවතුනි? පොතෙන් බොල පොතෙන්.

"රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද?"

දැන් ළමයි ටික පුල්හොල්මං.... ලේසිපාසු කේස් එකක්ද? කාගෙන්වත් උත්තරයක් නොලැබෙන නිසා, පරීක්සක මහත්තය ඉස්සරහ පේලියේ හිටපු කොල්ලෙක්ව නැගිටවලා ඇහුවලු..හ්ම්ම් කියනවා බලන්න... "රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද?"

ටික වෙලාවක් බලං හිටපු කොල්ලා එක පාරටම අඬ අඬා කියන්න ගත්තලු "අනේ සර්, මං නං ඕක කැඩුවේ නෑ... මං දන්නෙත් නෑ සර්" කියලා. පරීක්සක තුමාට දැන් මල.... ගුරුවරයට එන්න කියලා, කිව්වලු, "බලනව, මම මේ ලමයින්ගෙන් ඇහුවා 'රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද' කියල, මෙන්න මේකා අඬන්න හිටපි 'මම නං නෙමේය කියලා', මොකද්ද මේකෙ තේරුම, මෙහෙමද උගන්නනේ?" කියල. ගුරාට දැන් වැඩේට අප්සැට්... කොල්ලා දිහා පොඩ්ඩක් රවලා බලල... "මහත්තයා, මේකනේ... මුං ඔක්කොම මැරෑටියෝ... ඉගෙන ගන්න ආපු එවුන් නෙමෙයි. හැබැ‍යි, මේකා නම් දුන්නක් කැඩුවා කියලා හිතන්න අමාරුයි. පේන්නේ නැද්ද පඟරනැට්ටා වගේ... සර් මට විනාඩි 5 දෙන්න මම හොයලා දෙන්නම් ඕක කඩපු එකාව" කියලා කියපි.

පරීක්සක තුමාගේ මල දැන් කණෙන් බේරෙන සයිස්. දෙන්නං තොපිට හොඳ සබ්බුවක් කියලා, කෙලින්ම ගිහිං නැවතුනේ ප්‍රින්සිබල් ගාව. තාම කර්නල් පට්ටමක් නැහැ කියලා ප්‍රින්සිබල් ටිකක් අප්සැට් මූඩ් එකේ හිස් කොල වල අස්සන් කර කර ඉන්නවලු. "විදුහල්පතිතුමා, මම මේ අටේ පංතියකට ගිහින් ළමයින්ගෙන්... (ඉතිං විස්තරේ කිව්වලු ). ගුරුවරුත් මෙහෙම නං කොහොමද මේ ඉස්කෝලවල උගන්නන්නේ?" කියලා පෝඩ්ඩක් ලොකු සයිස් එකෙන් කිව්වලු. වෙන්ඩ කර්නල් ඉන්න ප්‍රින්සිබල්ට මෑන්ව එච්චර අල්ලලා නෑ, ඒත් ඉතිං රාජකාරිය කොරන්ට එපායෑ කියලා, මොකද්දෝ පයිල් කවරයක් අරං පෙරලගෙන, පෙරලගෙන, පෙරලගෙන, පෙරලගෙන ගිහින් එක පිටුවක නතර වෙලා.... අපිට තියනවා... වොලිබෝල 4ක්, ක්‍රිකට් ආම්පන්න, පුට් බෝල 2ක්, කවපෙත්තක්, යගුලි 2ක්, බැඩ්මින්ටන් සැට් එක නම් මම පරිස්සමට ගෙදර ගෙනිච්චා... හැබැයි, අපේ ඉස්කෝලෙ කවදාවත් දුන්නක් තිබිලා නෑ... ඕක මේ ඉස්කෝලේ වෙච්ච් දෙයක් වෙන්න බෑ පරීක්සක මහත්තය. මේ බලන්ඩකො මේ තියෙන්නෙ ලිස්ට් එක" කියලා දික් කලාලු ලිස්ට් එක.

පරීක්සකතුමා අඩි හප්පල නැගිට්ටෙ සැලියුට් ගහන්න කියලා වගේ පෙනුනත්, පුටුවත් පෙරලගෙන කඟවේනා වගේ නැගිටලා, මල අතේ අරං කෙලින්ම ගියාලු, කලාප අධ්‍යාපන කාර්යාලෙට. පලාත් අද්‍යාපන අධ්‍යක්ෂතුමා ගමනක් යන්න එලියට බහිනවලු.... ඒත් ප්‍රස්නේ බැරෑරුංකම ගැන හිතලා, පරීක්සකතුමා පස්සෙන් ගිහිල්ලා, පන්න පන්න විස්තරේ කිව්වලු. අධ්‍යක්ෂතුමාට ඉතිං සාවධානව අහං ඉඳලා ප්‍රස්නේ බැරෑරුංකොම තේරුං අරං, "සාමාන්‍යෙන් දුන්නක් කැඩුනාම, ඒ කැඩිච්ච කෑලි එවනකං අපි අලුත් දුන්නක් නිකුත් කරන්නෙ නෑ... දන්නවනේ, අපේ අය දුනු ගිලින හැටි. ඒත් මහත්තයව මං දන්නවනේ.... අර ගුණදාසට කියලා අදට දුන්නක් ඉල්ලගෙන යන්න, හෙට මතක් කරලා අර කැඩිච්ච කෑලි ටික අරං එන්න" කියලා වාහනේ නැගලා රූං ගාල ගියාලු. පරීක්සකතුමාට ඇඬෙන්න එනවලු.... ඇමතිතුමා හම්බවෙන්න යනවද කියලා කල්පනා කරලා හිතුනලු වැඩක් නෑ... අර මාලක මහත්තයවත් පත්වෙච්චි දවසක යනවා ඇරෙන්න දැං ඉන්න එකා ලඟට ගිහින් වැඩක් නෑ කියලා, ගෙදර ගියාලු.

ගෙදර ගිහිං හාන්සිපුටුවේ වැටිලා, ගෙදර උන්දා හදලා දීපු තේක බිබී පරීක්සකතුමා කල්පනා කරනවලු රටට ගිය කල. කාගෙන් බේරුනත් බැරිය නෝනාගෙන් බේරෙන්නට කිව්ව වගේ... නෝනාට වැඩේ තේරිලා ඇවිත් ඇහුවලු, "ඇයි අනේ ඔයා අද හනිමූන් හත අටකට යන්න තියන මනමාලයෙක් වගේ ඉන්නෙ" කියලා. රාජකාරි ප්‍රස්න නෝනා එක්ක කියන හොඳ නෑ කියලා දන්න පරීක්සක මහත්තයා කිව්වලු, නෑ මේ වෙන ප්‍රස්නයක් කියලා. ගෑනි හපෙන්න තියාගත්තලු "ඔයා තාම අරකිව හිතෙන් අහක් කරලා නෑ නේද? ඕකි ගැන නේද ඔය ඔච්චර හිතන්නේ, මම නම් ඉන්නෙ නෑ ලිඳේ පනිනවා" කියලා දුවන්න ගත්තලු ලිඳ පැත්තට. ගෑනි ලිඳට පැන්නොත් ලිඳ ඉහලා මිසක් ආයෙ පාවිච්චියට ගන්න බැරි බව මතක් වෙලා පරීක්සක තුමා බෝල්ටා වගේ දුවලා ගිහිං නෝනව අල්ලගෙන, "නෑ ගෑනියේ මේක මේ ඉස්කෝලෙක පුරස්නයක්" කියලා කිව්වලු. ඒත් ගෑණි විස්වාස කරන පාටක් නෑලු... ලිඳ බේරගන්න ඕන හින්දයි, ගෑණිටත් ඉතිං සෑහෙන්න අධ්‍යාපනයක් තියන හින්දයි පරීක්සක තුමා ඔන්නොහෙ කියලා සම්පූර්ණ කතාවම කියලා දැම්මලු.

ඔන්න දැන් පරීක්සක නෝනා කූල්ඩවුං වෙලා ආයෙමත් ගිහිං කුස්සියේ වැඩකටයුතු කරන්න ගත්තලු. පරීක්සකතුමත් හිටපු පුටුවම ඇවිත් ආයෙත් අර 'හනිමූන්' මූඩ් එක දාගත්තලු. ඔන්න බොලේ, ටිකකින් ඇතිලියකුත් බිඳගෙන ගෑණි දුවං ඇවිත් කිව්වලු.... "මට නං හිතෙන්නේ අර තක්කඩි කොල්ලම තමයි ඕක කඩන්න ඇත්තේ" කියලා. පරීක්සකතුමා ඒ පාර ලිඳ පැත්තට දිව්වේ බෝල්ටාගෙත් රැකෝඩ් එක කඩාගෙන කියලා තමයි පොත් පත් වල ලියවිලා තියන්නෙ ඕං.

-------------------------------------------------------------------------------

දැන් මේ කියන්න යන කතාවේ මනුස්සයාට තිබ්බේ එක ඇහැයිලු. එක ඇහෙන් ඇහැක් විදියට තමයි ඉතිං ජීවත්වෙලා තියෙන්නේ. බැලු බැල්මට ඇස් දෙකම තියනව වගේ පෙණුනට අනිත් එක බොරු ඇහැක්ලු. කොච්චර ඉස්තරම් බොරු ඇහැක් ද කියනවා නං ඇස් දෙක දිහා බලලා කෝකද බොරු, කෝකද ඇත්ත කියලා එකපාරට කියන්න ඇහැක් කෙනෙක් නෑල්ලු. දැන් ඉතින් රෑට නිදාගනන්කොට මේ මනුස්සයා බොරු ඇහැ එලියට අරන් වතුර වීදුරුවක දාලා තියනවලු 'ප්‍රෙස්නස්' එක තියාගන්න. අනික ඇඳේ එහෙමෙහෙ පෙරලෙනකොට ඕක ගැලවිලා වැටිලා බිඳුනොත් එහෙම...

දවසක් මුන්දැට හීනයක් පෙනිලා (හොඳ එක ඇහැක් තියන නිසා හීන දකින්න ඇහැක්ලු ) කෑගහගෙන, දාඩිය දාගෙන ඇහැරිලා අර වතුර එක සට සට ගාලා බීලා දැම්මලු. ආයෙ මොනවද, ඇහැත් ගිලිලා නේද කියලා මතක් උනේ පස්සෙලු.

ගැට්ට මාරු උනත් ලිඳට වැටිච්ච එකා එලියට එන්න ඕනෙ ලිං කටින්මයි කියලා හිතලා, මුන්දෑ ඉතින් වැඩිපුර බණ්ඩක්කා එහෙම කාල, පුක හොඳට සබන්දාලා  හෝදලා ලෑස්ති උනාලු. කරුමේ කියන්නේ පිංවතුනි... අගටම ඇවිත් ඕක හිර වුනාලු පුග්ගැට්ටේ. දන්න සෙල්ලං ඔක්කොම දාලා තැටමුවත් ඇහැ නෙමෙයිලු එලියට එන්නේ.

කොරන්නම දෙයක් නැති තැන, ඕන පුකක් කියලා ගියාලු පශ්චාත් බාග උපාධිදාරී දොස්තර මහත්තයෙක් ලඟට. හීනෙන් බය වෙච්ච කතාව කියන්න වෙන නිසා, අපේ කතානායකය ඇහැ ගැන විසේසයෙන් නොකියන්න හිතගෙන තමයි ගිහිං තියෙන්නේ. දැන් දෙබස යනවලු මෙහෙම;

"මොකද පුක?"

"මොකද්ද හිරවෙලා දොස්තර මහත්තයෝ... උදේ ඉඳන් දොට්ට පිලට යන්නත් බෑ."

"මොනවද අන්තිමට ඇතුලට දැම්මේ?"

"දැන් මාසෙකට විතර කලිං නං"

"නෑ නෑ... ඊයෙ පෙරේද"

"නෑ මහත්තයො"

"ඉතිං දුන්නද?"

"පුකද? නෑ මහත්තයෝ  මම දෙන ජාතියේ නෙමෙයි" කියද්දි තමයි දැකලා තියෙන්නේ දොස්තර ෆෝන් එක කනේ තියාගෙන ඉන්න බව.

"හරි මං එනකං දෙන්න එපා" කියලා ෆෝන් එක තියපු දොස්තර මහත්තයා "අපි ටිකක් බලමු, මොකද වෙලා තියෙන්නේ" කියලා පැත්තක තිබ්බ ඇඳ පෙන්නුවලු.

"කලිසම පාත් කරලා දණ ගහගන්නකො ඇඳේ".... ඒ වචන කලින් කවදාහරි අහල තියන බව මතක් උනත්, මේ වෙලාවේ ඕවට සුදුසු තැන නෙමෙයි නිසා ඔන්න අපේ කතානායක කිව්ව විදිහටම ඉන්නවලු... දොස්තර ඉතිං ග්ලවුස් එහෙම දාලා, ලයිට් එකත් ගහලා පොඩ්ඩක් ඈත් මෑත් කරලා බැලුවලු.

බුදු අම්මෝ කියලා කෑගහන සද්දෙටයි, වටේ පිටේ තිබ්බ බඩු පෙරලෙන සද්දෙටයි නර්ස් නෝනා දුවගෙන එනකොටත් අපේ පොර මොකද උනේ කියලා හොල්මන් වෙලා බලං ඉන්නවලු. යම්දෝ නොයම්දෝ කියලා හිතලා නර්ස් නෝනා නැවතුනත්, වැටිලා හිටිය දොස්තර දැක්කහම හිතුනලු තමං හිතපු ජාතියේ දෙයක් නෙමෙයි කියලා.

ඉතිං දෙන්නම එකතුවෙලා දොස්තරව නැගිට්ටවලා, වතුර ටිකක් හොයාගන්න බැරි තැන, ටෙස්ට් කරලා ඉවර වෙච්චි මූත්‍රා සාම්පලයකින් ටිකක් මූණේ ගානකොට දොස්තරට සිහිය ආවලු. දැන් අපේ කතානායකට මාර බයයිලු, තමන්ට මොකක් හරි දරුණු ලෙඩක් කියලා. "අනේ ඇ‍යි දොස්තර මහත්තයා, මොකද්ද ප්‍රස්නේ?" කියලා බයෙන්ම ඇහුවලු. තාම අඩ සිහියෙන් වගේ හිටපු දොස්තර මහත්තයා යාන්තම් වචන ගලපගෙන මෙහෙම කිව්වලු.

"මං..... දැන් අවුරුදු..... 21 තිස්සේ.... පුකවල් බලනවා... අයිසේ..... ඒත්.. ඒත් අද තමයි... ඉස්සෙල්ලාම.. පුකක් මගෙ දිහා බැලුවෙ".

------------------------------------------------------------------

යන්න කලින් මෙන්න තවත් සූටි කතාවක්....

බලු මැක්කෙක්, තව බලු මැක්කෙකුගෙන් මෙහෙම ඇහුවලු.... "මචං, පයිංම යනවද? නැත්නං බල්ලෙක් එනකං ඉම්මුද?"

------------------------------------------------------------------

ප.ලි

1. හිනාවීම හෝ නොවීම පාඨකයා සතු වගකීමක් වන අතර හිනා නොයන කේස් වලට කතෘ වගකියනු නොලැබේ.

2. ආච්චීගේ අදහස් සහ ප්‍රකාශ උන්දෑගේ අනුමැතියකින් තොරව පලකිරීම මට තහනම් කර තිබේ. එම නිසා ආච්චි පිලිබඳව අද විස්තර පල නොවේ.

3. 'පිංවතුනි' යන වචනය භාවිතය මාරයාගේ උදහසට හේතුවිය හැකි බැවින්, මං බලධාරියා විසින් කපාහරින ලදී.