තණකොට කන හරක් සහ බත් කන හරක් වශයෙන් බෙදීමක් පසුගිය කාලයේදී බ්ලොග් අවකාශයෙන් මම අහුලා ගතිමි. මෙහිදී බත් කරන හරක් වශයෙන් අර්ථ දැක්වුනේ රටේ මහ ජනතාවය. මේ කියමන සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් මගේ එකඟතාවයක් ඇත. එම නිසා හරකෙක් වශයෙන් මට කිරීමට හැකි වැදගත්ම දේ (තප්පුලෑම නොවේ) කිරීමට මම සුදානම් වෙමි. ඒ නම් 'වමාරා කෑමකට' ය. පැත්තකට වී නිවී හැනහිල්ලේ වමාරා කෑමෙන්, කලින් හදිසියේ ගිල දැමූ දෑ, හෙමින් හෙමින් හපා කෑමෙන් අලුත් රසයක් දැනීමට ඉඩ ඇති අතර, නොදැනුවත්වම ගිලී ඇති කුණු රොඩු 'තුහ්' කියා ඉවත දැමිය හැකිය.
සිංහල ජාතිය සහ බෞද්ධ ආගම බේරාගත යුතුය. මෙහෙම කියන්නේ දේශප්‍රේමීන්, හෙළයන්, සැබෑ බෞද්ධයන් වන අතර, මේ දෙක බේරාගත යුතු වන්නේ ප්‍රධාන වශයෙන් ඉස්ලාම් භක්තියන් වන මුස්ලිම් ජාතියෙන්ය. ඒක එහෙම වන විට, ඒවාට විරුද්ධව කතා කරන සිංහල බෞද්ධ පිරිසක්ද සිටී. ඔවුන්ට අනුව ඉහත කී පිරිස ජාතිවාදී වේ. එනම්, ඔවුන් අනුගමනය කරන ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය, රටේ ජාතිවාදය ව්‍යාප්තවීම සහ ඒ මගින් බිහි කරන මහා ව්‍යාසනයකට පාර කැපීම බවයි. මුලින් පිරිසට අනුව දෙවැනි කොටස, දේශද්‍රෝහී නැතිනම් නපුංසක වේ. එනම් තමා අයත් ජාතිය සහ ආගම ගැන කිසි කැක්කුමක් නැති, යම් යම් දේට මුලා වී හෝ තමන්ට ලැබෙන වාසි නිසා තමන්ගේම එවුන්ට වල කපන පිරිසක් බවයි.
මම කියන්නට යන දෑ අදාල වන්නේ මේ කණ්ඩායම් දෙක සම්බන්ධයෙන් බැවින්, මම පලමු කණ්ඩායමට 'ජාතිවාදී' කණ්ඩායම සහ දෙවන කණ්ඩායමට 'දේශද්‍රෝහී' කණ්ඩායම යැයි කියමි. ඒ මෙම කණ්ඩායම් ඔවුනොවුන්ට අලවා ඇති ලේබල් විනා, ලිපිය ලියන මා විසින් එම වචනාර්ථයෙන් කරන හැඳින්වීමක් ලෙස නොසැලකුව මැනවි.
'දේශද්‍රෝහී' කණ්ඩායම, 'ජාතිවාදී' කණ්ඩායම සම්බන්ධයෙන් නගන ප්‍රධාන තර්කයක් නම්, බෞද්ධාගම රැක ගැනීමට යැයි කියමින් ඔවුන් බෞද්ධාගමේ හරයන් අමු අමුවේ විනාශ කරමින් සිටින බවයි. කොටින්ම වෛරය වෛරයෙන් නොසංසිඳේ යැයි උගන්වන බුදුදහම රැකගැනීමට කියා වෛරයම ව්‍යාප්ත කරමින් සිටී යන්නය.
භාෂාව මූලික කරගෙන අපි සිංහල ජාතිය වන අතර, අදහන ආගම බුදුදහම බැවින් බෞද්ධයෝ වෙමු. නමුත් කෙනෙක් 'මම සිංහල බෞද්ධ' යැයි කීම ඉහත කී ආකාරයට ලඝු කලහැකි දෙයක් නොවේ. ජාතිය සහ ආගම (තවත් දෑ) ආශ්‍රයෙන් සංස්කෘතියක් බිහිවන අතර, අපි සිංහල බෞද්ධ යැයි කීමේ අර්ථය වඩාත්ම සමීප වන්නේ අපි මේ සංස්කෘතියට අයිති බව කීමට යැයි මගේ හැඟීමය.
සංස්කෘතිය යන්නට විවිධ නිර්වචන ඇතත්, සංස්කෘතියක් යනු අප හැදෙන වැඩෙන පරිසරය තුල වූ යම්කිසි හර පද්ධතියක් ලෙස සරලව හැඳින්විය හැකිය. ඉතින් අප හැදුනු වැඩුනු සංස්කෘතියට අපගේ ඇති සම්බන්ධතාවය අවිඥාණිකව අප තුලම වෙයි. මේ සංස්කෘතිය වෙනස් වූ විට, එක වරම අපට එය දරා ගත නොහැකිවන්නේ අප තුල වූ එම බැඳීම නිසාය. පිටරටක ජීවත්වීමට යන කෙනෙකුට ඇතිවන 'හෝම් සික්' යනුවෙන් හඳුන්වන්නේ එම හුරු පුරුදු වටාපිටාවෙන් ඈත්වීමේදී සිතට දැනෙන අපහසුතාවයයි.
සංස්කෘතිය යනු ආගම සහ ජාතිය පමණක්ම නොවේ, නමුත් එහි හඳුනාගත හැකි ලක්ෂණ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ බොහෝ විට ආගම, භාෂාව සහ ජාතිය වේ.
ඒ අනුව දැන් ඇතිවී තිබෙන තත්වය, අන්‍ය ආගමක්, ජාතියක් ඔළු ගෙඩි ගණනින්ද, බල පරාක්‍රමයෙන්ද රට තුල සීග්‍රයෙන්, බලෙන් ව්‍යාප්ත කරවීම නිසා (එසේ කිරීමට සංවිධානාත්මක උත්සහයක් ඇති බව ද පෙනෙන්නට ඇති හෙයින්) තම සංස්කෘතියට එල්ලවන බලපෑමෙන් එය මුදා ගැනීමට ආගම සහ ජාතිය සංඛේත ලෙස භාවිතා කරමින්, ගෙන යන වැඩපිළිවෙලක් ලෙස මම දකිමි.
බුදු දහම බේරා ගැනීම වෙනුවෙන් සටන් පාඨ කියන්නවුන් වෙතින්, බුදු දහමේ හරයන් බලාපොරොත්තු විය නොහැක්කේ මේ නිසාය. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන් වෙතින් ජාතිය, භාෂාව ගැන විශේෂ දැනුමක් අවබෝධයක් බලාපොරොත්තු විය නොහැක්කේ මේ නිසාය. ජාතිය සහ ආගම නාමයෙන් කරලියට පැමිණියත් ඔවුන් පෙනී සිටින්නේ ඒවා ආශ්‍රයෙන් ගොඩනැගුණු තමා අයිතිවන සංස්කෘතිය වෙනුවෙනි. ඊටත් වඩා සරලව කියන්නේ නම්, එය තමන්ට හුරු පුරුදු ජීවන රටාව වෙත එල්ලවන බලහත්කාර කමක් ලෙස ඔවුන්ට පෙනෙන බැවිනි.
කුමක් ඇසුරින් ගොඩ නැගුනද, මිනිසුන්ට තමන්ගේ ජීවත්වීමේ ක්‍රමය (way of living) වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇත. ඒ අර්ථයෙන් ජන කොට්ටාශයක් වශයෙන් මුස්ලිම් මිනිසුන්ට, සිංහල බෞද්ධයන්ගෙන් (සහ අන් ජාතීන්ගෙන් ) එල්ල වන විරෝධය අසාධාරණ නොවන බව මට සිතේ. ඉස්ලාම් ආගමේ ඇති ඉගැන්වීම් (නැතිනම් ඒවා අද අර්ථදක්වා ඇති ආකාරය ) සහජීවනය යන සංකල්පය සමග නොපෑහේ. ඉස්ලාම් ආගම මගින් ඇතිකරන දැඩි ආගම් භක්තිය, විරුද්ධ මත කෙරෙහි මැදහත් සිතින් බැලීම අපහසු කරවයි. තමන් ජීවත්වන ක්‍රමය, අන් ජාතීන් ජීවත්වන ක්‍රම අභිබවා ඉහලින් තැබීමට මුස්ලිම් නායකයන් ක්‍රියා කරන අයුරු පැහැදිලිව දැකගත හැකිය. බහුතරය මුස්ලිම් නොවන පසුබිමක, මුස්ලිම් ජනතාවගේ මෙම ස්වභාවය එම සමාජය තුල ප්‍රශ්න ඇති කිරීමට දායක වේ.
බළලා මල්ලෙන් පනින්නට පෙර....
සාමාන්‍ය වර්ග කිරීමට අනුව මමත් පහසුවෙන්ම අයිතිවන්නේ දෙවෙනි කොටසටය, එනම් 'දේශද්‍රෝහී' ගොඩටය. නමුත් වමාරා කෑමේදී, මා වැටෙන ගොඩ මම මොහොතකට අමතක කරමි. අඩුම ගණනේ එසේ කිරීමට උත්සහ දරමි.
දැන් මෙම 'දේශද්‍රෝහීන්' කල යුත්තේ කුමක්ද?
මම ඉහත පැහැදිලි කල කාරණය නිසා, 'ජාතිවාදී' කණ්ඩායම හැසිරෙන්නේ ආගමේ හරයන්ට අනුව නොවේ යැයි තවදුරටත් තර්ක කිරීමෙන් පලක් නැත. මේ පිරිසට කල හැකි වැදගත්ම දේ වන්නේ, ආගම සහ ජාතිය, මේ විරෝධයන්ගෙන් ඉවත් කිරීමට දායක වීමයි. නැතහොත් ආගම ජාතිය මේ තුල උළුප්පා නොදැක්වීමයි. මේ මගින් සිද්ධවන්නේ එකම සිරුරකට, වෙනස් සළුපිළි ඇන්දවීම ලෙස බැලු බැල්මට පෙනෙනු ඇත.
මේ අපබ්‍රංශය මෙසේ තේරුම් ගනිමු.
ආගම, සහ ජාතිය යන සංකල්ප මතින් නිර්මාණය වන ගැටුමක් මහා ව්‍යාසනකාරී වන්නේය. ආගමක්, ජාතියක් යනු බොහෝ විට මිනිසාට තාර්කිකව ලැබුණු දෙයක් නොව ඔහු ලද යම් උරුමයකි. මේවා තාර්කික ප්‍රශ්නාර්ථයට ලක් කිරීමක් කල නොහැක. එනම්, කෙනෙක් තමන්ගේ ආගම ජාතිය අනුව යුද්ධයකට එලඹේ නම්, එය තාර්කික අවසානයක් කරා ගෙන යා නොහැකිය. එය පරම්පරා ගණනකට ඇදෙන මහා විනාශයක් පමණකි. මේ රටේ දෙමළ ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් ඇති බව මම සිතමි. නමුත් වසර 30 සටන්කොට ඔවුන් කිසියම් ජයග්‍රහණයක් ලබා තිබේද? වසර 30 පෙර ඇරඹි සටන අවසන් වන විට, එය ආරම්භ වීමට බලපෑ හේතු නියෝජනය කරන ලක්ෂණ එහි තිබුණිද?
එනයින්, මේ ඇතිවීමට ඉඩ ඇති ගැටුමෙන් ආගම සහ ජාතිය ඉවත් කර ගැනීම අතිශය වැදගත් වේ. ඒ මහා ව්‍යාසනයක් වලක්වා ගැනීමට පමණක්ම නොව ඇත්තෙන්ම මා ඉහත දැක් වූ පරිදි ආගම හෝ ජාතියට සෘජුවම සම්බන්ධ ප්‍රශ්නයක් නොවන නිසාය.
විරෝධතාවය එල්ල විය යුත්තේ, ආගම සහ ජාතියේ නාමයෙන් සිදුවන සමාජ පීඩාවන්ටය. රටේ ආරක්ෂාව උදෙසා බෝධි පූජාවට ගෙනයන කිරි කළයකටද කූරක් ඔබා පරීක්ෂා කල කාලයක් විය. ඒ යමෙකුගේ සැදැහැවත් බවට වඩා තවෙකෙකුගේ ජීවිතය වටිනා බැවිනි. මුස්ලිම් ජාතිකයන් සමහරක් අනුගමනය කරන සම්පූර්ණ මුහුණු ආවරණය කිරීම ප්‍රසිද්ධ ස්ථාන වල සිදු කිරීම තහනම් කල යුතුය. තම ආගමට සුවිශේෂිත හලාල් වැනි සංකල්ප පොදු සමාජය මත පැටවීම තහනම් කල යුතුය. ඉස්ලාම් නීතියට අනුව විවාහ සිදු කිරීම, ඉස්ලාම් නීති අනුව බැංකු ණය දීම් සිදු කිරීම තහනම් කල යුතුය. එමෙන්ම, සිංහල ජාතිය නැතිවේ යැයි බියෙන් වඳ සැත්කම්, ගබ්සා කිරීමට ඉඩ ලබා නොදීමට ද විරුද්ධ විය යුතුය.
අපගේ විරෝධතාවය එල්ල විය යුත්තේ, ආගම හෝ ජාතිය මුල් කරගෙන නොව, අප ජීවත්වන ක්‍රමය මුල්කරගෙන බව මා කියන්නට තතනන දේ තුල ඇති සරල තේරුමයි. ජීවත්වන ක්‍රමය යනු නියතයක් නොවුනත්, එය රැඩිකල්ව වෙනස්වන දෙයක් ද නොවේ. කාලයට සාපේක්ෂ ලෙස එය වෙනස්වන අතර, අප විරුද්ධවිය යුත්තේ කෘතිම සහ රැඩිකල් ලෙස එය වෙනස් කිරීමට උත්සහ දැරීමට එරෙහිවය.
මිනිසා යනු තනියෙන් ජීවත්විය හැකි සත්ව කොට්ටාශයක් නොවේ. එම නිසා ඔවුහු රංචු ගැසෙති. ඉන්පසු දකින්නට ලැබෙන්නේ එකතුවීම සහ වෙන්වීම අතර අපූරු චිත්‍රයකි. රටවල් වශයෙන් එකතුවන අතර ප්‍රාදේශීය වශයෙන් බෙදේ, ආගම අනුව එකතුවන අතර නිකාය අනුව බෙදේ. භාෂාව අනුව එකතුවන අතර උච්චාරණය අනුව බෙදේ. තමා තනි නොවන බව පෙන්වන අතරම තමන් අනන්‍යය බවද පෙන්වීමේ ක්‍රමයක් බව මගේ තේරුම් ගැනීමයි. මේ අයිති වීම සහ අනන්‍යතාව ප්‍රකාශ කිරීම ඉස්පසු සාපේක්ෂව සිදුවේ. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟයකදී 'අපි ශ්‍රී ලාංකික' වන පිරිස, උනුන් අතර සිදුවන විවාහයකදී, ජාතිය, ආගම, කුලමල, සමාජ තත්වය යන සියලු දේම සොයා බලයි. මෙවැනි බෙදීම්, එකතුවීම් ඉවසා දරා ගත හැකි තරමට අපේ සංස්කෘතිය වර්ණවත් වන අතර වර්ණ අතර පැහැදිලි වෙනසක් දැකීම ද අපහසු කරවයි.
මේ බෙදීම් වලට නිසි පිළිවෙල අනුව වටිනාකම් ලබාදීමත් සිදුවිය යුතු තව දෙයකි. ආගම යන්න නිකායට වඩා ද, ජාතිය යනු ආගමට වඩා ද, රට යනු ජාතියට වඩා ද, මනුෂ්‍යත්වය යනු ඒ හැම දේටම ඉහලින් තිබෙන්නක් බවද තේරුම් ගත යුතුය. ශ්‍රී ලාංකිකත්වයට හිමි සැබෑ වටිනාකම අපේ රටේ ලබාදී නැති බව මගේ අදහසයි.
වාර්ගික යුද්ධයකින් වසර තිහකට වැඩි කලක් බැට කෑ අප, යුද්ධය අවසන් වී වසර තුනක් වැනි කෙටි කලක් ඇතුලත නැවත අර අඳිමින් සිටින්නේ තවත් එවැනි මහා ව්‍යසනයකට බව සිතේ. මේ ප්‍රශ්නය ගැන කතාකරන බොහොම ස්ථාන, තවමත් ආරම්භ නොවූ මේ යුද්ධය වචන මට්ටමෙන් පැවැත්වෙන යුද්ධ භූමි මෙනි. මෙය කිසිකෙනෙකුට පහර දීමට, හෙලා දැකීමට ලියවුනක් හෝ, බ්ලොග් තුල වචන යුද්ධ සිදු කරමින්, එකිනෙකාට පහර ගසමින් සතුටු වීමට ඉඩ ලබාදීමට ලියවුනක් නොවේ. තමන් විශ්වාස කරන සත්‍ය මතම සදාකාලිකව එල්බ නොඉඳ ඒවා යම් කිසි ස්වයං විවේචනයකට ලක් කිරීමට (වමාරා කෑමකට ) බඳුන් කරන ලෙස ඉල්ලා සිටිමින්, එවැනි ස්වයං විවේචනයක් කිරීමෙන් පසු මට හිතෙන හැටි ප්‍රකාශ කිරීමට ලියූ ලිපියක් බව සලකන්න.