මෙතෙක් වේලා වැසී තිබුණු රිය කවුළු, මම විවෘත කරමි. ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයෙන්, දුමෙන් හා අව් රශ්මියෙන් ද මම දැන් මිදී සිටිමි. තාර නොදැමූ වැලි පාර ගැන මට අසාධාරණ සතුටක් නැගේ. ඉතා හෙමින් මා රිය පදවන්නේ දූවිලි නොනැගෙන්නටම නොවේ. දකින සියළු දෑ මගේ අතීත මතකයන් හා ගලපන්නට මට උවමනාය. වටපිට පෙනෙන දසුන් නුපුරුදුය. සුපුරුදු බිමක මම ආගන්තුකයෙක් වී සිටිම්ද? නමුත් මම ආගන්තුකයෙක් නොවෙමි. ඒ අතීත මතක සුවඳ හැමදාම ලෙංගතුය. වියපත් දෑසට, යටගිය මතකයට, දුටුවනම ගෝචර නොවුනත්, පරිසරයේ සදාතනික තාරුණ්‍ය අතර සැඟවුණු පැරණි දැනහැඳුනුම් කම් කෙසේ නම් සැඟවිය හැකිද?
මේ මා වසර දහ අටකට පෙර පාසල් ආ ගිය පාරයි. බසයේ පා පුවරුවේ එල්ලී, උදා පින්නෙන් පෙඟුන දූවිලි සුලඟ විඳ ගනිමින්, අද මගේ ඇස සනසන නිල් ගොයමින් පිරි කෙත්වතු තඹේට මායිම් නොකර, නිල් කොට කලිසමෙන් සුදු දිග කලිසමට උරුමකම් හිමිකර දුන් යෞවනයේ ආඩම්බරය ලොවට කියාපාමින් ගිය පාරයි. මගේ ගත සිත සතුටින් පිරී තිබේ. අවට පෙනෙන අලුතින් ඉදිවුනු ගොඩනැගිලි, ළපටි ගහකොල දෙස මම බලමි. 'මේ බිම ගැන නුඹලා නොදන්නා ඉතිහාසයක් මම දනිමි' මම ආඩම්බරයෙන් සිතමි. ඉතින් මම කිසිසේත්ම ආගන්තුකයෙක් නොවෙමි.
දැරියක් බිම වැටී හඬන්නීය. මම රථය පසෙකට කර නවත්වමි. ඇගේ දණහිස සීරී ලේ ගලයි. මම වහා ගොස් ඇයව නැගිටුවමි. ඇය නොනවත්වා හඬන්නීය "අම්මා.. අම්මා...". මම ඇයව වඩා ගනිමි "දුවගේ ගෙදර මොකද්ද?". ඇය අත දිගු කල දිශාවට මම සෙමෙන් පා තබමි. දැරියගේ හැඬීම දැන් ඉකිගැසීමකි. "දූගෙ කකුල රිදෙනවද?"... ඇයගේ පිළිතුර හිස වැනීමකි. ඈ හුරුබුහුටි සුරතල් දැරියකි. ඇය නොදැනුවත්වම ඇගේ සිඟිති අත්පොඩිය මගේ ගෙලවටා ගොස් ඇත. ඇයගේ රතුවුනු කම්මුල් දිගේ බේරෙන කඳුලු, වරින්වර මතුවන ඉකිය, මගේ සිතේ ඇතිකරන්නේ සතුටකි.
ගැහැණියක් දිව එන්නීය. පරණ ගවුමකට උඩින් චීත්තයක් දවටාගත් ඇගේ කෙහෙරැලි අවුල්ය. ඇයගේ දෑසේ ඇත්තේ බියපත් පෙනුමකි. 'දැරියගේ මව' මම අනුමාන කරමි. එහෙත් මේ දැරියගේ හුරුබුහුටි කමට සරිලන සුන්දරත්වයක් මේ ගැහැණියගෙන් පලනොවන බවද මසිතේ සටහන් වේ. "අම්මා... " දැරියගේ හැඬුම නැවතත් ඇරඹේ. ඇය මේ ගැහැණිය දෙසට දෑත් දිගුකරමින් හඬන්නීය. මම දැරිය ඇයට භාර දෙමි. ඇය යමක් තේරුම් ගත්තා සේය. දෑසේ රැඳුනු බියපත් බව පහ වී මද සිනහවක් ඇඳේ. අපේ නෙත් මුණගැසේ. ඒ දෙනෙත්..... මම නැවතත් ඇගේ දෑසට එබෙමි. ඇගේ දෑසේ නැගි විශ්මයට පත් වූ බැල්ම තුලින් මම අතීත මතක සොයා යමි.
***
ප්‍රමාද වී දිව ආ ඈ බසයට නැග්ගේ අන්තිමටය. බසයේ සෙනග පිරී ඇත. ඇයට බසයේ ඇතුලටම නැගීමට ඉඩ නැත. දැන් ඇය පා පුවරුවේ මටත් පහළිනි. මට තරමක නොරුස්සනා හැඟීමක් ඇතිවේ. පා පුවරුවේ අන්තිම පඩි දෙක මගේ සුපුරුදු ස්ථානයයි. දැන් මට පඩියක් උඩට නැගීමට සිදුවී ඇති අතර, කෙල්ලක් මටත් පහලින් සිටී. මගේ කොලු සිතට මෙය නොරුස්සයි. ඇය උඩට නැගීමට උත්සහ දරන්නීය. නමුදු බසයේ ඉඩක් නැත. මීටත් උඩට නැගීමට මගේද කිසිම කැමැත්තක්ද නැත.
බසය තරමක් වේගයෙන් වංගුවක් හරවයි. බසයේ සිටි කීප දෙනෙකුගේ බර මගේ උරහිසට දැනේ. පා පුවරුවේ පොල්ල අල්ලාගෙන සිටින මගේ දකුණත රිදුම් දෙයි. එක්වරම මගේ බඳ වටා අතක් යයි. ඇදහිය නොහැකි දෑසින් ඇය දෙස බලන මට ඇගේ අසරණ දෑස් හමුවේ. මගේ බඳ වටා ඇති ග්‍රහණය ලිහිල්වන බව මට දැනේ. එක් වරම ක්‍රියාත්මක වන මම මගේ වම් අත ඇගේ ඉනවටා යවමි. මගේ ග්‍රහණය දැඩිය. ඇගේ ළැම පෙදෙස මගේ ඇලයට තෙරපී ඇත. ඇගේ සුවඳ මට දැනෙයි. ඇය ලැජ්ජාවෙන් ඉවත බලා සිටින නමුදු ඇගේ අත තවමත් මගේ බඳේ එතී තිබේ. නුපුරුදු හැඟීමක් මා වෙලාගනී. උරහිස්, දෑත් රත්වී රිදුම්කන තත්පර කිහිපයක, මම යෞවනයේ අපූර්ව චමත්කාර අත්දැකීමක් විඳගනිමින් සිටිමි.
රතු වූ මුහුණින් ඇය මා දෙස බලයි. නමුත් ඇගේ දෑසේ ස්තුතිපූර්වක සිනාවක් නැගී තිබේ. "මෙතනින් බහිනවා".... මගේ අත තවමත් ඇයගේ බඳවටා බව මට සිහිපත්වේ. මම කලබලෙන් අත ඉවතට ගනිමි. ඇගේ වතේ සිනහවක් නැගේ. යළිත් වරක ස්තුතිපූර්වක සිනහවකින් මදෙස බලා ඇය බසයෙන් බැස යයි. මට පිටුපා යන ඇය දෙස මම තෘප්තිමත් දෑසින් බලා සිටිමි. මගේ සිත ආගන්තුක සිතුවිලි වලින් පිරී ගොස්ය. ඇගේ සුවඳ තවමත් මා ලඟ ඇතැයි මට සිතෙයි. ඇය නැවත හැරී මා දෙස බලාවි ද? ඇය තවමත් මට පිටුපා ඇගේ පාසල දෙසට ගමන් කරන්නීය. දැන් ඇයට ඇගේ යෙහෙළියන් කිහිප දෙනෙක්ද එකතු වී ඇත. බසය සෙමෙන් ඉදිරියට ඇදෙයි. මොහොතකට පෙර මා ලද මිහිර පරදවා සිහින් දුකක් මසිතේ මෝදු වේ. සිතින් කිරා මැන තෝරා ගත් නිමේශයක මෙන් එක් වරම ඈ හැරී බලයි. මම ඇයට අත වනමි. ඇයද පෙරළා මට අත වනන්නීය. ලෝකයම ජය ලද්දෙකු සේ ඉපිලී ගිය සතුටින් සැහැල්ලුවෙන් මා පාවී යන්නා සේය.
***
ඒ අතීත මතකයට හිමිකම් කියන දෙනෙත් එදා ස්තුති පූර්වක සිනහවෙන්ම මා අභියස දිලිසෙයි. කාලය විසින් යටපත්කල ඇගේ සුන්දරත්වය, අතීතය හඳුනන මගේ නෙත්වලින් සැඟවිය නොහැක. වරෙක මගේ ඇලයට තෙරපුනු ඇගේ ළැම ද, මගේ ග්‍රහණයට අසුවූ ඇගේ බඳ ද, තවමත් තාරුණ්‍යයෙන් සම්පූර්ණයෙන්ම පිටමං වී නැති බව මට සිතේ. ඇය එදා මෙන්ම තවමත් සුන්දරය. මා දෙනෙත් ගමන්කල ඉසව් දුටු ඇයගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවී ඇත. නමුත් ඇගේ දෑසේ ස්තුතිපූර්වක සිනාව තවම තිබේ. දැරියගේ මුහුණ සිපගත් ඈ, යළිත් වරක ස්තුතිපූර්වක සිනහවකින් මදෙස බලා සෙමෙන් සෙමෙන් නිවෙස දෙසට පියමං කරන්නීය.
මට පිටුපා යන ඔවුන් දෙස මම සිතේ නැගි අපූර්ව හැඟුමකින් යුතුව බලා සිටිමි. මගේ සිත නේක සිතුවිලි වලින් පිරී ගොස්ය. ඇය මා හඳුනාගත්තාද? ඒ අතීත සිදුවීමේ මතකයන් ඈ ලඟත් තිබේද? මට මෙන්ම ඇයටත් එය අපූර්ව අත්දැකීමක් වුණිද? ඇය දැරියගේ කඳුලු පිසිමින්, ඇය සනසවමින් මට පිටුපා ගමන් කරන්නීය. මම සෙමෙන් සෙමෙන් රථය වෙත පියමනිමි. හදිසියේ සිහිපත් වූ යමකින් මම නැවත හැරී බලමි. ඇය දැරියගේ කණට යමක් කොඳුරන අයුරු මට පෙනේ. මොහොතකින් දැරිය සිනාමුසු මුහුණින් මා දෙස බලා අත වනයි. "ටටා....." මගේ සිත සතුටින් ඉපිලයයි. "ටටා...." මමද පෙරළා අත වනමි. සිතින් කිරා මැන තෝරා ගත් නිමේශයක මෙන් එක් වරම ඈ හිස හරවා මා දෙස බලා දැරියගේ අත වැනීමට එකතු වන්නීය. පහන් හැඟීමකින් වෙලී සතුටින් සැහැල්ලුවෙන් මා පාවී යන්නා සේය.
මෙයත් අතීතෙට ගිහින් වගේ......
ReplyDeleteබස් එක වෙනුවට කෝච්චිය ආදේශ කළොත් මට ඔය වගේ අමතක උනු මතකයක් තියෙනවා තමයි...
හිරු තව පෝස්ට් එකක් එකතු කරන්න පුළුවන් ලිස්ට් එකට,
Delete"අපේ මහත්තයා" අවුලක් නැත්නම් ඒකත් ලියමු නේද
අවුරුදු දෙකක බලා ඉදල දවස් දෙකක් ලේට් වුන අර කොට ඩයල් එක නේද? කාටද හිරු ඒ වගේ මතක නැත්තේ...මතක් වුනත් තනියම මද සිනහවක් යනවා නේද?
Deleteඅපෝ නෑ පෙට්‍රියට්.... එයා අමතක උනු මතකයක් නෙවෙයි... හි හි... අද මෙග් පෝස්ට් එක පැත්තේ ගියෙ නැතුව ඇති නේද...
Deleteඅපේ මහත්තයා නම් අවුලක් නෑ.... තව ටික කාලයක් ගියාම දාමු...
මං හිතන්නෙ මට කොහොමත් ඔය අතීතකාමය ලෙඩේ තියනවා... තැනින් තැනට ගිය අහිගුණ්ඨිකයෙක් වගේනෙ... ඉතින් අන්තිමේ ඉතුරු වෙන්නේ දාලා ගිය තැනක අතීත මතකයක් විතරයි.
Deleteකෝච්චියක ෆුට්බෝඩ් එකකදි නම් මීටත් වඩා තදින් බදා ගන්න ඇති... නේද? නැත්නම් ඉතින් වැටුනොත් බඩුම තමයිනෙ.
මො.පේ.. මාත් බැලුවේ මේකිට කීයක් ඉඳලද කියලා... ඕනෙ වෙලාවක ඇහුවොත්, ඒක නෙමේ වෙන එකක් කියනවා.....
Deleteහ්ම්, ලස්සනට ලියලා තියනවා
ReplyDeleteමටත් පොඩි පොඩි මතකයන් තියනවා,
ඒත් වැඩියෙන්ම ආසා පයින් , බර වැටි ව්ල, සොහොන් පිට්ටනි වල රින්ග රින්ග පාසල් ගිය පොඩි කාලෙට. ශිෂ්‍යත්වේ ඒ සුන්දරත්වය අහිමි කරා
අතීතයේ සොඳුරුම මතකයන්....මොකද්දෝ හැඟීමක් හිතට දැනුනා...
ReplyDeleteඔව් අපි කාටත් මේ වගේ මත කරන්න පුලුවන් අතීත මතක තියනවනේ....
Deleteහ්ම්, ලස්සනට ලියලා තියනවා
ReplyDeleteමටත් පොඩි පොඩි මතකයන් තියනවා,
ඒත් වැඩියෙන්ම ආසා පයින් , බර වැටි ව්ල, සොහොන් පිට්ටනි වල රින්ග රින්ග පාසල් ගිය පොඩි කාලෙට. ශිෂ්‍යත්වේ ඒ සුන්දරත්වය අහිමි කරා
කොමෙන්ට් කිරීමට දෙවන උත්සහය
//ශිෂ්‍යත්වේ ඒ සුන්දරත්වය අහිමි කරා//
Deleteඑක පාසලකින් තව පාසලකට යනකොට මටත් ඔය වගේ හිතුනු වාර තියනවා... ඒත් ඉතින් ඔය හැම වෙනස් වීමකින්ම අපිට ලැබුනු දේවලුත් තියනවනේ...
දෙපාරක්ම උත්සහ කරල හරි කොමෙන්ටුවක් දැම්ම එකට මගේ ස්තුතිය...
ඕව ලියන්න ගත්තොත් පුතෝ වෙනම බ්ලොගයක් දාන්න වෙනවා. හැබැයි හොදට තියෙනවා.. කොල්ලන්ට ඉතිං ආතල් උනාට දැං වෙනී ලට නං ඕවට කීං කීං වගේ ඇති.. මේ බං උඹ මහ ගොබ්බයෙක් නෙව අවුරුදු 18 ක් ම ඉස්කෝලේ ගියාද???
ReplyDeleteලියන්න ගත්තොත් නම් ඕනෙ තරම් තියනවා.. ඒත් ලියන්න කම්මැලි එකනේ අවුල.... උඹ කිව්වට පස්සෙ දැක්කා අවුල.... 'පෙර' කියන වචනේ මිසිං වෙලා තිබ්බේ, හැදුවා... දැන් ඉතින් පේන්නෙ ගොබ්බ කම නෙමේ වයස.
Deleteහැක්...හැක්...
Deleteම්ම්ම්...ලස්සන මතකයක්නේ.........
ReplyDeleteහ්ම්ම්ම්.... ලස්සන වගේම දුකකුත් රැඳිලා තියන මතකයක්..
Deleteමචන් උඹේ උඹේ ජීවමාන වචන වලට මම වශී වුනා... සිරාවටම කියලා වැඩක් නෑ...
ReplyDeleteඋඹ ඔහොම කියනකොට... හීනියට වගේ ආඩම්බරයක් දැනෙනවා..
Deleteආ..තිසරය නිවාඩු යනව කියල ගමේ ගිහිං ඕවා තමා කොරල තියෙන්නේ. ඒක සුන්දර මතකයක් විදිහට අහිංසකව විදින්න පුළුවන් අපූරු මොහොතක්. මේ සැරේ නම් උඹත් අටමා වගේම සිද්ධි වලට පණ පිහිටුවල ලියල තියනවා.
ReplyDeleteදේශකයා ඒක පාර්ශවික ලවක් ගැන ලිව්ව එකේ උඹත් රොටියක් පිච්චුවා නේද..මමත් කොත්තුවක්ම දාන්වා...අප්සොට් එක මගේ භාරී හොරෙන් හොරෙන් මගේ බ්ලොග පැත්තේ යන බව මේ දවස් වල දාපු ගෝරිවලින්ම තේරුණා. සුභ වේවා!
කාගෙ හරි පෝස්ටුවකින්ම තමයි මතකේ ඇවිස්සුනේ... මතක නෑ දැන්... උඹ කිව්වට පස්සෙ දේශකතුමාගෙ ලව ගැනත් කියවල ආව...
Deleteඇයි යකෝ ගෑණි වලි දාන්නෙ නැතුවයි... උඹේ අන්තිම පෝස්ට් එකෙ ඉන්නෙ කඩුවකුයි, තරාදිකුයි උස්ස ගත්ත බාගෙට හෙලුවැලි ගෑණියෙක්නෙ.. ඉක්මනට ලියපං ඔය මාර චාරිකා වගේ එකක්වත්.
අයියෝ පැට්‍රියට් මලයා කම්බස් වෙලා නෙව.. ඔය එන්නේ එළියට.. මං ඒත් බැලුව මොකද මේකා ලියන්නැත්තේ කියලා.. හා හා හොරේ දැනුනා...
Deleteමං මූට කලින් කී සැරයක් කිව්වද ඔය තරාදය පැත්තකින් තියන්න කියල කෝ ඇහුවයැ.. ගලවන්ට ඕන උගේ බස් කප් එක...
කිව්වත් වගේ හැමෝම අතීත මතක ඔස්සේ යනවා වගේ .
ReplyDeleteපුදුම ලස්සන ලියවිල්ලක් . බස හසුරවා ඇති විදිහ අනර්ගයි . මේ වගේ කතා අපමණ කියවා තියෙනව . නමුත් මේ ලියා තියෙන විදිහ හරිම අපුරුයි. නිකමට කමෙන්ට් එක ඔස්සේ ආවේ . පාඩුවක් වුනේ නැහැ .
සතුටුයි බින්දි මේ පැත්තෙ ආ එක ගැනත්, පෝස්ට් එක රසවින්ද එක ගැනත්... වර්ණනාවටත් ස්තූතියි.
Deleteබින්දිගේ 'කවි මිතුර' කවිය... කියෙව්වහම දරුණුවට හිතට වැදිච්ච කවියක්.
හරිම සජීවී ලියවිල්ලක්. ලස්සනයි. අනේ මමත් ෆුට් බෝඩ් එකේ ගිහින් තියනවා. හැබැයි එල්ලෙන්න කට්ටියනම් හිටියේ නෑ :)
ReplyDeleteහුහ්... ෆුට්බෝඩ් එක ගෑණු ළමයින්ට තහනම් කලාපයක්. එතෙන්දි එල්ලෙන්න කවුරුත් නොහිටියට, සයුරිත් දැන් 'එල්ලිලා' නේද ඉන්නෙ? ඒකත් මේ වගේ සුන්දර එල්ලීමක්ද දන්නෙ නෑ.
Deleteහ්ම්ම්ම් අතීත මතකයන්...සමහර වෙලාවට අවුරුදු ගානකට කලින් සිද්ධ උන පුංචි සිද්ධියක් උනත් හොඳට මතක තියෙන විදිහ ගැන නම් පුදුමත් හිතෙනව.
ReplyDeleteඅපූරු සටහනක් තිසර...
සාදරයෙන් පිළිගන්නවා Chams. ඒක නම් ඇත්ත... සමහර සිද්ධි බොහොම විස්තරාත්මකව අවුරුදු ගානකට පස්සෙත් මතක තියන එක නම් පුදුමයි තමයි.
ReplyDeleteලස්සනයි අනේ..:)
ReplyDeleteඊට පස්සේ කවුරුවත් හම්බවුනේ නැද්ද ෆුට් බෝඩ් එකේ යනකොට...??
ඊට පස්සෙ හම්බවුණු කෙනා කෙලින්ම ටිකට් කඩලා ඇතුලට අරං ඉන්නේ ගමනාන්තයටම යන්න. :D
Deleteඒක හරි පුදුම සංවේදනාවක්.
ReplyDelete"මෙව්වා එකක්" කියලා කියන්නත් පුලුවන් සංවේදනාවක් කියන එක තේරුමක් නැත්තම්. ;) අතීත සැමරුම කියන දේ තුල ඔබ උත්තම පුරුශ වෙලා චරිත දෙකක් කාලාර්ථ දෙකක වර්ථමාන තල වල රඳවාගෙන ඔබ කියපු කතාව හරි අපූරුයි. මේකට දාන පළවෙනි කොමෙන්ට් එක.., ඉස්සරහට එන පෝස්ට් වලදී අපි සංවාද කරමු.., :)
ඉල්ලීමක් කරන්නම් හැකිනම් බොහෝ බිම් වල වගේ වල් ගස් නැතිව කියවනා හිත් සුව කරන ඔසු පැල මේ බිමේ ඉන්දන්න උත්සහ කරන්න..!
ස්තූතියි. ජය!
බොහොම ස්තූතියි ලිශාන් මේ පැත්තේ ආවාට. ඔබගේ බ්ලොගයත් බැලිය යුතුමයි කියලා ලිස්ට් එකට දාගත්තා. කවි ගැන කතාබහට මමත් හරි කැමතියි. ඔබේ ඉල්ලීම සිතේ තබාගන්නම්.
Deleteඉතා රසවත් ලියමනක්.. අගෙයි..
ReplyDeleteබොහොම ස්තූතියි චතුර
Delete