රාජ්ගෙ නවාතැනේ තිබ්බනේ... 'සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ' කියලා පෝස්ට් එකක්. ඕක දැක්කහම මටත් ඔය කතාව අදාල කරගන්න පුළුවන් සිද්ධියක් මතක් වුනා. වේලි වේලි ඉන්න මට මේ රාජ්ගෙන් අයිඩියාවක් ලැබිච්ච දෙවෙනි වතාව. වෙලාවක ඌව ඔපීසියෙන් පන්නගෙන ගිහින් බෝතලේකට සෙට් කරගන්න ඕනේ. පස්සෙ ඇවිත් 'ඕෆ්' වෙන්න බැරියැ.

සෙනසුරාදා උදේට සුධර්මාරාමේ තියන නිමල් හෙට්ටිආරච්චි සර්ගෙ ෆිසික්ස් පංතිය ඉවර වුනාම එදා දවසට අපි නිදහස්. ඉරිදා දවසේ උදේ අටේ ඉඳන් දොලහ වෙනකං තියන කෙමිස්ට්‍රි පංතියටයි, ඊට පස්සේ හවස එකේ ඉඳන් පහ වෙනකං තියන පියෝ-ඇප්ලයිඩ් පංතියටයි ගියාම ඉරිදා දවස සම්පූර්ණයෙන් චාටර්. ඒ නිසා ගන්න ආතල් එකක් අපි ගත්තේ සෙනසුරාදා. හැබැයි ඉතිං බෝඩිමට ඇවිල්ලා ඇඳුමක් එහෙම හෝදගන්න තියෙන්නෙත් සෙනසුරාදා හවස් වරුව තමයි.
ලොකු ලොකු වැඩ කලේ නැතත්, සුධර්මාරාමෙ ලඟ ඉඳලා ක්ලොක් ටවර් එක දිහාට සැට් එකම වල්පල් කියෝ කියෝ ඇවිදගෙන එන එක නම් අනිවාර්යයි. එතනිං එහාට ඉතිං කෙල්ලෝ සැට් කරගත්ත එවුං ෆිල්ම් හෝල් එකකට හරි, වේල්ස් පාක් හරි යනවා... කෙල්ලෝ පස්සෙං යන එවුං කෙල්ල යන බස් හෝල්ට් එකට ගිහින් ඒ බස් එකේම නැගලා සල්ලි දීලා ටිකටුත් අරං සෑහෙන දුරකුත් ගිහින් ආයෙ ගෙදර එනවා. ඒ මොකවත් නැතුව නන්නත්තාර වෙලා ඉන්න අනිත් සැට් එක, ඔය කොහෙ හරි බස් හෝල්ට් එකකට එකතු වෙලා ඕන්නං රටකජු ගොට්ටක් දෙකක් අරං කාලා, අපේ දැවෙන ප්‍රශ්න සාකච්ඡා කරලා බඩගිනි උනාම ගෙදර යනවා. ඉඳලා හිටලා දවසක, චිත්තරපටියක් බලන්න, යාලුවෙකුගේ ගෙදර සැට් වෙලා ක්‍රිකට් මැච් එකක් බලන්න වගේ දෙවලුත් කරනවා. ඔය කරන ජාති මගේ කතාවට එච්චර අදාලත්වයක් නැති උනත් මම කිව්වේ පසුබිම් සංගීතයක් හැටියට.
ඔන්න දැන් සෙනසුරාදා උදේ පංති ඇරිලා අපි දහ දෙනෙක් විතර ඇවිදගෙන එනවා. සුධර්මාරාමේ ඉඳලා ප්‍රධාන පාරට එන්න මීටර් දෙසීයක් තුන්සීයක් ඇවිදගෙන එන්න ඕනේ අතුරු පාර දිගේ. අපේ සැට් එකේ හිටිය නහරයා තමයි රත්නායක, නැත්නං රත්තා. පාරේ යන ගැල්ලමයින්ට උසුළු විසුලු කිරීම තමයි උගේ ප්‍රධාන රාජකාරිය. එහෙම කියන්න ගිහිං හොඳ කතා අහගත්ත වෙලාවලුත් තියනවා. රත්තා ගැන කියද්දි මතක්වෙන අනිත් කාරණේ තමයි මුගේ පාර පැනීම. 'මෙන්න මං පනිනවා උඹලා වාහන නවත්ත ගනිල්ලා' වගේ තමයි ඌ පාර පනින්නේ. මම අනාවැකියකුත් කියලා තිබ්බා ඒ කාලේ කවදාහරි ඌ මැරෙන්නේ බස් එකකට යට වෙලා නැත්තං කොන්දොස්තර කෙනෙක්ගෙන් ගුටිකාලා කියලා.
ඉතිං මේ කියන දවසෙත් මූ අපිට ඉස්සරහිං ඇවිදගෙන යන්න කෙල්ලො සැට් එකකට අනංමනං කියනවා. උගේ කට කැඩිච්ච කතා වලට අපි හිනාවෙනවා. ඔන්න එකපාරටම ඔක්කොම කෙල්ලො ටික කුඩ ඉහල ගත්තා. මහ පාරෙදි අව්ව සැර උනාට මේ කියන අතුරු පාරෙ කුඩ ඉහලන්න තරං අව්වක් නෑ. උං කුඩ ඉහල ගත්තෙ 'තොපි කියන එව්වා අපිට නෙමෙයි' කියන්නා වගේ. ඔන්න රත්තා දැන් අලුත් වැඩක් පටන් අරං. පාරෙ තියන චූටි චූටි ගල් අහුලගෙන අර කුඩ වලට ගහනවා.
ස්ත්‍රී නිදහස වෙනුවෙන් බාල කාලෙ ඉඳල පෙනී සිටින මට මේක එච්චර ඇල්ලුවේ නෑ සහෝදරවරුනි. වැඩේ අසාධාරණයි... පවුනේ අර අහිංසක ගෑල්ලමයි ටික... ඔය ගලක් කුඩයක් අස්සෙන් ගිහින් ඒ ළමයින්ගේ ඇඟේ වැදිලා රිදුනොත් එහෙම, නේද? ඉතිං 'අවි ගත්තෝ අවියෙන්ම නසිති' කියලා මාත් අහුල ගත්තා පොඩි ගලක්. හිමින් සීරුවේ ඇවිදින වේගේ අඩුකරලා ගිය සැට් එකේ පස්සටම. ඉලක්කෙ අරං ගැහුවා රත්තගෙ ඔලු ගෙඩියට. වැදුනද?... පිස්සුද? අපිට ඔය වගේ ගල් ගහලා පුරුදු නෑ සහෝදරවරුනි. ඒ හින්දා වැරදුනා.
මූට වදින්න ගලක් ගහන්න නම් සෑහෙන ගල් කන්දරාවක් ඕනේ කියලා මට අවබෝධ වුනා. ඉතිං හොඳ ගල් ආකරයක් හොය හොය මම තාර පාර පිරික්සමින් යද්දි, තාර ගැලවිලා හැදිච්ච වලක මේං තියනවා සූටි සූටි ගල්. මම සුටුස් ගාලා දෙකට නැමිලා දෝතපුරා ගල් නෙලාගෙන මල්ටි බැරල් හැඟීමෙන් නැගිට්ටේ රත්තාව බ්ලාස්ට් කරලා දාන්න. කරුමේ කියන්නේ නිකං නෙමේ, සංසාරේ පුරාවටම විටින් විට පලදෙන අපරාපරියවේදනීය කර්මයක් මෙන්න මේ අවස්ථාවේ පල දුන්නා සහෝදරවරුනි.
මම තාර පාර පීර පීර ගල් හොයලා, ගල් එකතු කොරන්ඩ නැමිලා කෙලින් වෙන අතරේ මම නොදැනුවත්ව තවත් බිහිසුණු සිද්ධි දාමයක් සිද්ධවෙලා තියනවා. රත්තාගේ ගල් කරදරයෙන් බේරෙන්න බැරි තැන කෙල්ලෝ සැට් එක පාර අයිනේ නැවතිලා, කුඩ අකුලලා අතට අරං අපේ සැට් එක එතන පහුකරං යනකං ඔරෝගෙන බලං ඉඳලා. ටයිමිං කියන්නේ හරියට ජයසූරියගෙ ඉස්ක්වෙයාර් කට් පාර වගේ, මම මල් වට්ටිය සේ ගල් අහුර දෝත දරාගෙන කඳ කෙලින් කලේ උංගේ ඉස්සරහදිමයි. ආයේ මොනවද, හොරා බඩු අතේ අරං බඩු ටිකට අතේ මාට්ටු.
මේ වෙනකොට මම අපේ සැට් එකෙනුත් සෑහෙන පහු වෙලා. තනියා දැක්කහම ගැල්ලමයින්ගේ කටවල් වලටත් පණ ඇවිත්. කියාපු දේවල් ටික නං මෙතන කියන්නෙ නෑ නෑ මයි. හරි හමං මිනිහෙක් නං එදායින් පස්සෙ රෙදි අඳින්නෙ නෑ උං කියපු දේවල් වල හැටියට. මගේ කටේ කෙළ හිඳිලා.... කන් රත් වෙලා... කකුල් පණ නෑ... කොටින්ම කියනවා නං ඇඬෙන්න එනවා. කාට කියන්නද මේ දුක නංගියේ ඔබ හැර කියලා මම බැලුවා ගැල්ලමයි සැට් එක දිහා. හප්පා බලන්නත් බයයි... දත් මිටි කකා, ඇස් ගෙඩි ලොකු කරගෙන, කුඩ උලුක් කරගෙන.... බැනුං නං මට නෙමේ වගේ හිටියෑකි. ඒත් දෙයියනේ කුඩේකින් පාරක් වැදුනොත් මගේ පුරුසාදිපත්ය සුං නේද කියලා හිතුනා. කකුල් දෙකට පණ අරං අඩියට දෙකට දුවගෙන ගියා කොල්ලෝ සැට් එක ලඟට. උන්ට හරි හිනා. ඊට පස්සෙ උන්ගේ බයිට් එක මම. "අඩෝ පව් බං කෙල්ලන්ට ගල් ගහන්නේ"... "කැත වැඩ කරන්න එපා බං"... උන් අර කෙල්ලෝ සැට් එකට ඇහෙන්නම හයියෙන් කියනවා. මම කට වහගෙනම හිටියා.
එදා මමත් පාර පැන්නේ රත්තගෙ ඉස්ටැයිල් එකට. බස් එකක හැප්පෙන එක සැපයි ඒ වෙලාවෙ හැටියට. කොහොම කොහොම හරි එදා ක්ලොක් ටවර් එක ලඟට යනකං මම දත්මිටි කාගෙන ගියා. අර කලින් කිව්ව ජාතියේ උන්, උන් උන්ගේ කරත්ත වලට කරගහන්න ගිහින් ඉතුරු වෙච්ච සැට් එක ආවා පුස්තකාලෙ ඉස්සරහ පේරාදෙණි හෝල්ට් එකට. මම කට හඬ අවදි කලා "මේ අහපියව්... මම ගල් ගහන්න හැදුවේ කෙල්ලන්ට නෙමෙයි යකෝ... කෙල්ලන්ට ගල් ගහ ගහ ආපු රත්තට ගහන්න තමයි මම ගල් ඇහිලුවේ". උස් හඬින් මම එහෙම කිව්වහම කට්ටිය නිකං මා දිහා බැලුවේ මම රටේ දූෂණය භීෂණය තුරන් කරලා සාමය සහ සෞභාග්‍ය උදාකරනවා කියලා කිව්ව වගේ. "හරි හරි බං... අනිත් දවසේ ගහපං අහු නොවෙන්න.. මම වගේ"... රත්තා එහෙම කියලා මාවත් ඇදං රටකජු කරත්තේ පැත්තට ගියා.
------------------------------
ප.ලි
මගේ නිදොස්බව ගැල්ලමයි සැට් එකට තේරුම් කරදෙන්න හැදුවානම්, එදා අනිවාර්යයෙන් කුඩ පාර වදිනවාය. මට දුක කොල්ලෝ සැට් එකවත් කවදාවත් මගේ කතාව පිළිනොගත් එක ගැනය. පිළිනොගත්තා පමණක් නොව උන් එය තඹේකට වත් මායිම් කලේ නැතිය. සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරදෙන්න බැරිය.