Wednesday, January 9, 2013

...අසුභවාදියා...


ඔබ කිසිදිනෙක මා හමුවීමට නැවත පැමිණෙතැයි මම සිහිනෙකිනුදු නොසීතීමි. හැඟීම් රහිත ඔබගේ මුහුණ දුටු විට ඇති වූ විශ්මය පසු පස ආවේ තරමක චකිතයකි. තත්පර කිහිපයක් තුලදී ඉතිහාසයේ නියමිත කාලවකවානුව සොයා මා නොවිසඳා ඉතිරිකර පැමිණි යම් දෙයක් වේද යන්න සොයා බැලීමි. නැත... මම ඔබ වෙතින් පූර්ණ ලෙස සමුගෙන ඇත්තෙමි.

"සර්, ලබන සෙනසුරාදා පංති නෑ නේද එහෙනං?" කණ්ඩායමෙන් එකියක අසයි. ඇයගේ ප්‍රශ්නයට ඔවුන් ශබ්ද නගා සිනාසීමෙන් පිළිතුරු දෙති. ඇයද එම සිනහවට සම්බන්ධ වීමෙන් පිළිතුර බාරගනියි.

"සර්, ඇත්තටම ලෝක විනාසේ වෙයිද?" ඒ කටකාර කොල්ලෙකි. මගෙන් පිළිතුරක් නැත.

"අපෝ ඔන්න ලෝක විනාසෙ උනොත් අපිට ගෙදරින් පංති එන්න දෙන එකක් නෑ" ඔහු, ඔහුගේම විහිලුවට මහ හඬින් සිනාසේ. කෙලි රංචුවද ඔවුන්ගේ 'හිකි හිකියෙන්' ඔහුව දිරිමත් කරති.

"මෙයා ගෙදර අය කියන දේ ඇහුවොත් නම් එදාට ලෝක විනාසය අනිවාර්යයි" මුලින්ම ප්‍රශ්නය ඇසූ කෙල්ලගේ මේ ප්‍රකාශයට, කෙලි රෑනේ ප්‍රතිචාරය ඉතා ඉහලය.

"හරි හරි, ලෝක විනාසේ උනේ නැත්තං එනවලකො" මම සියලුදෙනාම පිටවී යනතුරු බලා සිටිමි.

"එහෙනං සර් සුභ ලෝක විනාසයක් වේවා" ඒ අන්තිමයාය.

ඔහුට පසුපසින් පංතියෙන් පිටවූ මා මඳ සිනහවක් මුව නඟාගත්තේ ඔබට මුහුණ දෙන්නටය. ඔබගේ මුහුණේ ඇඳුණු පිළිතුරු සිනාව චෝදනාත්මක එකක් නොවන බව මම තීරණය කළෙමි. ඔබ මා හමුවීමට පැමිණියේ ඇයිද යන්න සිතේ නැගි එකම පැනය වුවත්, මම එය වචන නොකලෙමි. අවංක වචන සිත් නොරිදවන්නේ කලාතුරකිනි.

"මම ආවේ ඇයි කියලද කල්පනා කරන්නේ?" ඔබේ ප්‍රශ්නයට මම ඔව් හෝ නෑ නොවන සිනහවකින් පිළිතුරු දුනිමි.

"මම ආවේ ඔයාව බලලා යන්න"

"කොච්චර කාලෙකට පස්සෙද නේද?" මම සුහද ලෙසින් ඇසීමි.

"හ්ම්ම්"

"අපි යමුද වැව දිහාවට?" මගේ ආරාධනාව පිලිගත් ඔබ ආපසු හැරුණේ මට ඉස්සර වීමට ඉඩසලසා දෙමිනි.

ඔබ මගේ අවසාන පෙම්වතියයි. නොගැලපීම් දහසක් ගලපා ගැනීමට උත්සහ ගත්තී ඔබය. ලොකයේ සෑම දෙයක්ම සිදුවිය යුතු ලෙස සිදුවන බවත්, ඒවාට මගේ ඇඟිලි ගැසීම් අනවශ්‍ය බවත් මම ඔබට කියා සිටියෙමි. වෙනසක් සඳහා 'කලයුතු' බොහෝ දේ ඔබ යෝජනා කල අතර ඒ සියල්ලටම 'ඕවා කරලා වැඩක් නෑ' යැයි මම කීමි. අවසානයේ ඔබට වෙන්වන්නට උවමනා විය.

මම අලස පෙම්වන්තයෙක් වීමි. වෙන්වීමක් යනු හමුවීමක නියත ප්‍රතිපලයක් ද, තවත් හමුවීමක ඇරඹුමක් ද බව දැන මම අලසවම ඔබට සමුදුනිමි. සමුගැනීමට පෙර ඔබ මා අත තැබූ කොලයෙහි ලියැවී තිබුණේ එකම වචනයකි.


ඔබට ඉදිරියෙන් ඇවිදගියද, මම ඔබගේ වේගය සමග අනුකූල වන්නට වෙර දරමි. ඔබ සෙමෙන් පියවර තබන්නේ කතා කිරීමට බොහෝ දේ ඇති නිසා බව දනිමි.

"සුලෝ දැන් මොකද කරන්නේ?" එතරම් හැඟීම් විරහිත බවකින් මම මීට පෙර කිසි දිනෙක ඔබගේ නමින් ආමන්ත්‍රණය කර නැතැයි සිතේ.

"මාත් දැන් එන්ඩෙවර් එකේ උගන්නනවා"

"මොනවද?"

"කම්පියුටර්" අප දෙදෙනාම එකවර හඬ නගා සිනාසෙමු. සිනා හඬ මැකී ගිය පසුද සතුට ඔබගේ මුහුනේ රැඳී තිබේ.

"ඒ කියන්නෙ දැන් කම්පියුටර් වලට කැමතිද?" මගේ වැරද්ද ද, ඒ වැරද්ද ඔබ වටහා ගත් බවද මට එකවර වැටහෙයි. නමුත් මා ප්‍රමාද වැඩිය.

"මිනිස්සු වෙනස් වෙනවා... ඒ එක්කම එයාලා කැමති අකමැති දේත් වෙනස් වෙනවා" නිහඬබව යනු එකඟවීමම නොවේ. මම නිහඬබව තෝරාගනිමි.

වැව අසල එකම ලී බංකුවෙහි වාඩිවීම නිසා මොහොතකට අප පෙම්වතුන් වෙමු.

"අනිද්දා ලෝක විනාසෙ" ඔබේ මද සිනහව, මගේ නිහඬබව හමුවේ සුසුමක් වී පිටවෙයි.

"ඔයාට පොඩ්ඩක්වත් බයක් හිතෙන්නෙ නැද්ද?" ඔබගේ පැනයට මම සිනහවකින් නැහැ කියමි.

"එහෙම උනොත් අපි තනිකමත් එක්කම මැරිල යාවි, තැලිච්චි පොඩිවෙච්චි හිත් එක්කම.." මම ඔබට කතා කරන්නට ඉඩ දෙමි.

"ලෝකයම විනාස වෙන බව දැනගත්තහම අපිට බැරිද එකිනෙකාට ආදරේ කරන්න?"

"අනාගතේ වෙනුවෙන් පොඩ්ඩක්වත් ඉතුරු කරගන්න ඕනෙ නැති නිසා, දෙන්න පුලුවන් උපරිම ආදරය දෙන්න පුලුවන් එතකොට"

"ඒ වගේ ආදරයක් ලැබෙනකොට ලෝකෙ විනාස උනත් දුකක් දැනෙන එකක් නෑ"

බලාපොරොත්තුව ඔබේ ඇඟිලිතුඩු අගින් මගේ ඇඟිලිතුඩු වෙලාගනී. අපට ඉදිරියෙන් වැව් ඉවුරේ බිඳෙන සිහින් දිය රැළි ද, පිටුපසින් මාවතේ දිවයන නොනවතින රිය පෙල ද මැද අපි කල්පයක් ගොළු වී සිටියෙමු.

"ලෝක විනාසෙ උනේ නැත්තං?" නිරායාසයෙන් මගේ මුවින් පිටවන වදන් ගැන මම පසුතැවිලි වෙමි.

වැව දෙස බලාගත්වනම පසුවන ඔබේ දෑස මට නොපෙනුණත්, ඒ තුල තෙරපෙන හැඟීම් මම ඔබේ නිශ්චල බව තුල දකිමි. සමහර මිනිසුන් කිසිදාක වෙනස් නොවන බව ඔබට වැටහෙන්නට ඇත. ඔබගේ වෙව්ලන අතැඟිලි සෙමෙන් මා අතැඟිලි අතරින් මිදී යයි.

"මම යන්නං" ඔබ මා දෙස නොබලාම බිඳුණු හඬින් එසේ පවසා මගෙන් ඉවතට ඇවිදයන අයුරු මම බොහෝ වෙලාවක් බලා සිටියෙමි.

පෙර දිනයක ඔබ සමුගැන්මට පෙර මා අත තැබූ කොල කැබැල්ල මම පසුම්බියෙන් ඉවතට ගෙන බලමි. හැඩකාර අකුරු වලින් ලියැවුනු එකම වචනය දෙස මම අරමුණක් නොමැතිව බලා සිටිමි.

...අසුභවාදියා...

මා බොහෝ වෙලාවක් මෙහි රැඳී සිටි බව මට සිහිපත් වේ. කොල කැබල්ල නමා තිබූ පැරණි දාර ඔස්සේම එය සීරුවෙන් නමා පසුම්බිය තුල තැම්පත් කල මම බංකුවෙන් නැගිට, වැව්තලය පිස ආ සිසිල් සුළඟකට මෙතෙක් වේලා ළය රැඳි බරැති සුසුම පිටකර හරිමි.

37 comments:

  1. තිසර, මට නං කියන්න දෙයක් නෑ.. සුපිරියට ලියල තියෙනවා. වචන වල හුදකලාව හොදට දැනුනා මේ කතාවෙන්.. උඹ හෙන සංවේදි කයි කාරයෙක් නෙව.. තොට අසුභවාදියා කියන එක තාම තියෙනවද? එහෙම නැති දවසක ඔය කොළේ පර්ස් එකේ තියාගන්න ඕනද???

    ReplyDelete
    Replies
    1. අද මට කියන්න දෙයක් නෑ.. මූ ඔක්කොම කියලා...

      Delete
    2. @දේශකයා
      ඕක තිබ්බත් නැතත් මං එහෙම තමයි බං...

      @හිරු
      පාරමීදම් පුරන්න තියන නිසා බිසී වගේ.

      Delete
  2. හ්ම්ම්.... හරිම සංවේදීයි..... ලස්සනට ලියල තියෙනවා.....

    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති...
    මේ අයුරින් අපි දවසක්දා සසර මගදී වෙන් වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සමනළී සිංදුවකුත් ගලපලා....

      Delete
  3. කියන්න වදන් නෑ තිසා...! අකුරක් අකුරක් ගානේ කියවෙන කතාවේ නිර්මාණශීලීත්වයට හිත බැඳෙන්නේ පිපාසෙන්...කියවලා ඉවර වුනාම "අනේ තව ටිකක් තිබුනා නං" කියල හිතුනා.. ලොකු ගමනක ඇරඹුම තිසා....ඔහොම යන්...ඉදිරිය පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම වත් ලියන එක ලොකු දෙයක් බං... පේනවනේ ලිවීමේ වේගය.. හිමින් සීරුවේ යංකෝ ඉතින්.

      Delete
  4. මටත් කියන්න තියෙන්නෙ සුපිරියටම ලියල කියල තමයි තිසර. සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය අපූරු ශෛලියකින් ලියවුණු කතාවක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Chams

      Delete
  5. හිත ටිකක් සසල කල කතාවක් . හරිම අගෙයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි සටහනට...

      Delete
  6. හ්ම්ම් හිතට වැදෙන විදිහටම ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන්නේ බෑ කිව්වට... ස්තූතියි.

      Delete
  7. මුලින්ම මතක් වුනේ ගම් පෙරලිය, ඔලිවර් ට්විස්ට්, මිල් ඔන් ද ෆ්ලොස්, චීෆ් සියැටල්ගේ ලිපිය වගේ ඉස්කෝලෙ කාලෙ ඉංග්‍රීසි සහ සිංහල සාහිත්‍යයට ව්චාරය ලියපු පොත් ගැන. ඒ පොත්වල තරමටම වචන හරහා බොහොම සංවේදීව හැගීම් ප්‍රකාශයක් කරල තියනවා.

    ප්‍රකාශකයාගේ පාළුව සහ පසුතැවීම, පැරණි පෙම්වතිය තුළ ඇති ගැඹුරු ආදරය සහ බලාපොරොත්තු මේ හැමදෙයක්ම හැම වචනයක් පුරාවටම පාඨකයාගේ හිතට දැනෙනවා.

    මේ සමස්ථය ඇතුලේ, කුමක් හෝ හේතුවක් නිසා හිතට බොහොම සංවේදී වාක්‍යයක් අමතක වෙන්නැති විදිහට තැන්පත් වුනා.

    ''අවංක වචන සිත් නොරිදවන්නේ කලාතුරකිනි.''

    තව දෙයක්,
    උඹේ හිත රිදුනත් නොරිදුනත් මම අවංක වෙන්නම්, මේ උඹේ සත්‍ය අත්දැකීම්ද කියල නොදන්නවා වුනත්, ඒක එහෙමම නම්, උඹ එයාට අසීමිතව ආදරය කරල තියන බව එකම එක වාක්‍යකින් කියවෙනවා.

    ''ඔබ මගේ අවසාන පෙම්වතියයි.''

    ReplyDelete
    Replies
    1. වැඩිය උඩ යවන්න එපා බං.... ටොක්කක් දෙකක් ඇනලා පොලොවෙම තියාගනිං.

      උඹට හිතට වැදිලා තියෙන්නේ මම බොහොම අරපරිස්සමින් ලියපු කොටස් දෙකක්... ඒ වගේ ඒවා නෝට් වෙනවා දකිනකොට සතුටුයි.

      අන්තිම දේ ගැන මෙහෙම කියන්නම්... අපි ලියන හැම ප්‍රබන්ධයක් තුලම සත්‍යය තියනවානේ...

      Delete
    2. අවසාන පෙම්වතිය අපිට ඔප්ෂන් දෙකක් දෙනවා.

      1. ඊට පස්සේ කවුරුවත් පෙම්වතියන් හිටියේ නෑ.
      2. ඊට පස්සේ හිටපු පෙම්වතියන් කාටවත්/කවුරුවත් ඇයට/ඇය වගේ පෙම් කලේ නෑ

      Delete
    3. ලියන්න හැදුවේ උඹේ අංක 2.. ඒත් එතන අනවශ්‍ය බරක් දීලා මාතෘකාවෙන් පිට පනී කියලා හිතිලා දෙකම අදහස් වෙන්න ඔහොම ලිව්වා...

      Delete
  8. හදවතට හොඳට වදිනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්

      Delete
  9. නොගැලපීම් මත එක් වෙනවාට වඩා වෙන්වෙන එක හොඳයි නෙ තිසර. හරිම සංවේදී සටහනක්. ඇය තුල මතුවූ හැඟීම් හා කතා නායකයා තුල ඇතිවූ හැඟීම් අපූරුවට නිරූපණය වෙලා තියෙනවා. හරිම ලස්සනයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චාන්දි අක්කේ...

      Delete
  10. නොගැලපීම් හැමදාමත් නොගැලපීම් වෙලා ඉතිරි වෙනවලු. ඒ හන්දා දුක උනත් වෙන්වීම හොඳයි. මං වගේ..

    හරිම සංවේදී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණි... 100% ගලපන්න බැරි නිසා සමහර නොගැලපීම් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි.

      Delete
  11. කතාව නම් ලෙසටම ලියල තියනවා තිසර.. /*අවංක වචන සිත් නොරිදවන්නේ කලාතුරකිනි.*/ මමත් අත්දුටු දෙයක් මේක..
    කතාව ඇතුලේ මමත් ඒ බැංකුව උඩ වාඩි වෙලා හිටියා සෑහෙන වෙලාවක්..

    ජය..!!

    ReplyDelete
    Replies
    1. ඔය බංකුව උඩ ඉන්න පුළුවන් කල්පයක්.. හැබැ‍යි නැගිට්ටහම අර වගේ සුසුමක් පිටවෙනවමයි....

      Delete
  12. උඹ ලියන්නෙ තරමක් වෙනස් ලියවිල්ලක්. ඒ කියන්නෙ ඒකට මම කැමතියි.

    ඔය අශුභවාදියත් ලෝකෙට අවශ්‍යයි කියනවනෙ බං. සර්ව ශුභවාදියා ගුවන් යානාව නිර්මාණය කරද්දි, සර්ව අශුභ වාදියාලු පැරෂුට් එක නිර්මාණය කරන්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නියම කියමන... මාත් සාමාන්‍යයෙන් 'වැරදුනොත්?' කියලා හිතන ගොඩේ තමයි... ඔන්න ලියවිල්ල පොඩ්ඩක් වල් වැද්දුවා අලුත්ම එකේ...

      Delete
  13. මගේ පොස්ට් එකට දාපු ලින්ක් එක දිගේ ඇවිත් බැලුවේ. මම හිතින් නුවර වැව රවුමේ ඉඳන් තමයි මේක රස වින්දේ. ඒත් මම නුවර නෙවේ. ඒ කියන්නේ ඔබේ ලිවීමේ හැකියාව.

    ReplyDelete
    Replies
    1. මම අවුරුදු කීපයක් නුවර ජීවත් වෙලා තියනවා... ලංකාවෙ තියන සුන්දරම නගරය... නුවර ජීවත් වෙන්න ලැබීම මගේ හීනයක් හැබෑවීමක්.. පොඩි කාලෙ ට්‍රිප් එකක් ගිහින් හිතුනා අනේ නුවර ඉන්න ඇත්නං කියලා.. ස්තූතියි සුදීක මේ පැත්තේ ආවට.. සුදීකට හොඳ හොඳ අදහස් පහල වෙනවා බ්ලොග් ලෝකය සම්බන්ධව...

      Delete
  14. අමුතු ලස්සන කතාවක් . අසුබ වාදයටත් වඩා කිසිවකට නොඇලෙන ගතිය නේද ඔහුට තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. මම කෙටියෙන් ලිව්වේ බින්දි ඒ වගේ විවිධ අර්ථකතන වලට ඉඩ තියන්න ඕනේ කියලා හිතලාමයි... හරියටම හැම දේම විස්තර නොකරන, කියවන අයට තම තමන්ට ගැලපෙන විදිහ දේවල් හිතාගන්න ඉඩ අරින්න ඕනේ උනා..

      එක් වරක් උත්සහ කරලා වෙන් වුනායින් පස්සේ, යළිත් වරක් ඒ දේම කිරීමේ තේරුමක් නැහැයි කියලා ඔහුට හිතෙනවා වෙන්න පුළුවන්... ඇය වෙනස් උනත්, තමන් වෙනස් වෙලා නෑ කියලා හිතුනා වෙන්නත් පුළුවන්..

      Delete
  15. ඔන්න සුදික අයියගෙ ලිපිය හරහා ඇවිත් පදිංචි උනා... සංවෙදී ලියවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමී... ඇත්තටම කොමෙන්ට් නොලියුවත් සුදීකගෙ පෝස්ට් එක හරහා සෑහෙන පිරිසක් ඇවිත් තිබ්බා... අපි වගේ නවකයින්ව ඒ විදිහට හරි අඳුන්වලා දෙන එක අගය කරන්න ඕනේ...

      Delete
  16. සුදීකගේ පෝස්ට් එක හරහා ආවේ. පට්ට ලියවිල්ල මල්ලි. සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාගර. සුදීකටත් මගේ ස්තූතිය.

      Delete
  17. තාත්විකයි තිසර. හැම වචනයක්ම හැම අකුරක්ම තමන්ට නියම වෙලා තියෙන දේ නියමෙටම කරනවා මේ කථාවෙදි.


    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනිල්.... මම පරිස්සමෙන් වචන තෝරගෙන ලියපු පෝස්ට් එකක්. ඒ බව ඔබට දැනුන එක ගැන සතුටුයි.

      Delete