Thursday, December 20, 2012

තාත්තා එනකං... | Cat's in the Cradle



එකල මට වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. අක්කා මට වඩා අවුරුදු දෙකකින් වැඩිමල් අතර නංගී මට වඩා අවුරුදු තුනකින් බාලය. උදෑසන අවදි වූ විගස අප එකිනෙකාගෙන් අසන විශේෂ ප්‍රශ්නයක් තිබුණි. ඒ "තාත්තා ගෙදර එනකොට ඇහැරලාද හිටියේ?" යන ප්‍රශ්නයයි. තාත්තා ගෙදර එනවිට ඇහැරී සිටීම අපගේ ලොකුකම පෙන්වන නිර්ණායකයක් ලෙස අපි එදා පාවිච්චි කලෙමු. බොහෝ වෙලාවට නංගීටත් මටත් සිදුවන්නේ 'තාත්තා එන විට ඇහැරී සිටි' අක්කාගේ උජාරු කතා අසා සිටීමටය. ඇයගේ උජාරුව ඉවසාගත නොහැකි වූ සමහර දිනවල අපි අම්මාගෙන්, ආච්චීගෙන් හෝ තාත්තාගෙන්ම අසා එහි නිවරද්‍යභාවය සොයා බැලීමු. මේ ගැන දැන් කල්පනා කලවිට පසක්වන්නේ අක්කාගේ උජාරුව හෝ අපගේ ලොකුකම නොව, අපට තාත්තා සමග ගත කිරීමට ලැබුනේ කොතරම් සුළු කාලයක්ද යන්නයි. පොදුවේ උදෑසන අටේ සිට සවස පහ දක්වා වන සහ ගමනට පැයක් දෙකක් ගතවන රැකියාවන්හි නියුතු බොහොමයක් තාත්තලාගේ දරුවන්ට මේ අත්දැකීම ඇතුවාට සැකයක් නැත.

ගම්පහ සිට කොළඹ රැකියාවට දිනපතා ගිය තාත්තා, පසු කලෙක 'වඩා හොඳ' රැකියාවකට කුරුණෑගල පුත්තලම මාර්ගයේ නිකවැරටියටත් එහා ප්‍රදේශයකට ගිය කල, අපට තාත්තාව දකින්නට ලැබුනේ සති දෙකකට හෝ මාසයට වරකි. තාත්තා ගෙදර එන දිනය සැණකෙලි දිනයක් හා සමාන වූවා ‍යැයි කීම අතිශෝක්තියක්මත් නොවේ. කලකට පසු පැමිණන නිසා තාත්තා එකල ගෙදර ආවේ කැවිලි පෙවිලි තෑගි බෝග ආදියද රැගෙනය. හැම පිරිමි දරුවෙකුටම මෙන් මට ද මගේ ලෝකයේ වීරයා වූයේ තාත්තාය. ඊට අමතරව, පොතපත කියවීමට දැඩි ඇල්මක් දැක්වූ තාත්තාගෙන් ඒ පුරුද්ද උරුමවූයේ මට පමණක් බැවින්, පොත්පත් ගෙනැවිත් දීමෙන් සහ ඒවා පිළිබඳ කතා කිරීමෙන් තාත්තා සහ මා අතර විශේෂ බැඳීමක්ද තිබුණි. එම වයසේ පිරිමි ළමයින් සාමාන්‍යයෙන් වඩා සමීප වන්නේ අම්මාට වුවද, මගේ වැඩි බැඳීම තිබුනේ තාත්තා සමගය.

නිතරම දුරබැහැර පලාත්වල සේවය කිරීමට සිදුවන නිසා එම තනතුර වෙනුවෙන් නිල නිවසක් තිබුණද, අපගේ අධ්‍යාපනය ඇතුළු ප්‍රායෝගික කාරණා රැසක් නිසා එක් වරම අප සියළු දෙනා රැගෙන එම දුෂ්කර ප්‍රදේශයට යාමට ඔහු සිතුවේ නැත. නමුත් තවත් ඉදිරි වසර ගණනාවකට සේවය කිරීමට සිදුවන්නේ එවැනි දුරබැහැර දුෂ්කර ප්‍රදේශ වල බැව් තේරුම් ගත් තාත්තා, එක ප්‍රදේශ කිට්ටුවෙන් තිබූ හොඳ යැයි පිළිගත් පාසල්වලට අපව ඇතුලත් කර පාසලේ නේවාසිකාගාරයේ හෝ දැන හැඳුනුම්කම් මත සොයාගන්නා නිවෙස්වල අපට ඉඳුම්හිටුම් සැලැස්වීය. මෙහිදීත් මට ලැබුනේ අක්කාට සහ නංගීට වඩා තරමක් ඈතින් පිහිටි පාසලකි. එබැවින් 'ගෙදර යෑම' යන්න තවදුරටත් මම මාසයකට වරක් පමණ ලැබූ අත්දැකීමක්ම විය.

මේ අතර තවත් විපර්යාසයක්ද සිද්ධවෙමින් තිබිණි. ඒ ගෙදර යාමට මට තිබූ උනන්දුව, ආශාව හීන වී යාමයි. ගැටවර වයසට පැමිණ සිටි මට, සම වයසේ කොල්ලන් සමග රස්තියාදුවේ යෑම, ගෙදර යෑමට වඩා බෙහෙවින් විනෝදජනක විය. සමහර විටෙක බොරු හේතු කියමින් මම ගෙදර නොගොසින් මග ඇරියෙමි. මගේ ලෝකයේ වෙනත් වීරයන් බිහිවෙමින් තිබිණි. තාත්තා මාරුවීම් ලබමින් මුළු පවුලම රැගෙන තැනින් තැනට ගියේය. මම සාමාන්‍ය පෙළ ලියා උසස් පෙළ සඳහා වඩාත් ඈතින් පිහිටි පාසලකට ගියෙමි. උසස් පෙළ කරන අතරතුර මා ගෙදර ගිය වාර ගණන දෑතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුය. ඒ වන විට මට මගේම ලෝකයක් තිබූ අතර, 'ගෙදර' ට එහි තිබුනේ කුඩා ඉඩකි.

කාලය ගතවිය. මම විදේශගත වීමි. තවත් ටික කලකින් මම  විවාහ වීමි. මගේ වයසේ බහුතරය මෙන්ම, මම ද දැන් රැකියාවක් කරමින්, නිවාස ණය ගෙවමින් ජීවත්වන්නෙමි. තාත්තා සමග කතා කිරීමට මට ඉඩ ලැබෙන්නේ සතියකට වරකි. එනම් සති අන්තයේය. එදිනටත් යම් යම් වැඩ කටයුතු යෙදුනහොත් බොහෝවිට කතා කිරීමට නොහැකි වෙයි. අප සමග මෙරට නිවාඩුවක් ගත කිරීමට ඒමට තාත්තා අයැදුම් කල වීසා බලපත්‍රයද, සෞඛ්‍ය පරීක්ෂණ නිසා ඇදි ඇදී ගොස් නියමිත කලට නොලැබුණි. 

-----------------------------

මේ ගීතය මම ඇසුවේ මෑතකදීය. පිළිවෙලට කියාගෙන යන කතන්දරයක් වන් මෙම ගීතයේ පද සොයාගෙන කියවූ පසු ඇති වූ තිගැස්ම සහ හැඟීම විස්තර කිරීමට මම අපොහොසත්ය.

Song - Cat's in the Cradle
Singer - Harry Chapin
Lyrics - Harry & Sandra Chapin


My child arrived just the other day
He came to the world in the usual way
But there were planes to catch and bills to pay
He learned to walk while I was away
And he was talkin' 'fore I knew it, and as he grew
He'd say "I'm gonna be like you dad
You know I'm gonna be like you"

And the cat's in the cradle and the silver spoon
Little boy blue and the man on the moon
When you comin' home dad?
I don't know when, but we'll get together then son
You know we'll have a good time then

My son turned ten just the other day
He said, "Thanks for the ball, Dad, come on let's play
Can you teach me to throw", I said "Not today
I got a lot to do", he said, "That's ok"
And he walked away but his smile never dimmed
And said, "I'm gonna be like him, yeah
You know I'm gonna be like him"

And the cat's in the cradle ........

Well, he came home from college just the other day
So much like a man I just had to say
"Son, I'm proud of you, can you sit for a while?"
He shook his head and said with a smile
"What I'd really like, Dad, is to borrow the car keys
See you later, can I have them please?"

And the cat's in the cradle ........

I've long since retired, my son's moved away
I called him up just the other day
I said, "I'd like to see you if you don't mind"
He said, "I'd love to, Dad, if I can find the time
You see my new job's a hassle and kids have the flu
But it's sure nice talking to you, Dad
It's been sure nice talking to you"

And as I hung up the phone it occurred to me
He'd grown up just like me
My boy was just like me

And the cat's in the cradle ........








තම රැකියාව සහ අනෙකුත් වැඩ රාජකාරි නිසා, මේ පියාට තම පුතු සමග ගත කිරීමට ලැබෙන්නේ ඉතා අඩු කාලයකි. කුඩා ළදරුවා ඇවිදින්නට, කතාකරන්නට සෙමෙන් ඉගෙන ගනී, නමුත් මේ තාත්තාට ඒ වැදගත් අවස්ථා වැඩ අධික බව නිසා මඟ හැරී යයි. කතා කිරීමට සමත් පුංචි පුතා කියන්නට හදන්නේ තාත්තා තමන්ගේ ලෝකයේ වීරයා බවය, කවදා හෝ තමනුත් ඒ වගේ වීරයෙක් වන බවය.

තාත්තා ගෙදර එන්නේ කවදාදැ‍යි කුඩා පුතු අසයි. ගෙදර එන දවස හරියටම කිව නොහැකි වුවත්, ගෙදර ආ දවසට පුතා සමග කාලය ගත කරන බවට තාත්තා පොරොන්දු වෙයි.

පුතා දැන් වයස දහයක කොලුගැටයෙකි. තාත්තාගෙන් තෑගි ලැබුණ බෝලයෙන් සෙල්ලම් කිරීමට ඔහු තාත්තා සොයයි. නමුත් තාත්තාට වැඩ අධිකය. තාත්තා ඔහුගේ සුපුරුදු පොරොන්දුව දෙයි.

පුතා දැන් වැඩුණු තරුණයෙකි. තාත්තාට පුතා ගැන ඇතිවන්නේ ආඩම්බරයකි. ඔහුට දැන් කලින් මෙන් වැඩ අධික නැත. පුතා සමග කතා කිරීමට ඔහුට වෙලාව තිබේ. නමුත් පුතාට දැන් මිතුරන් සිටී, ඔහු දැන් ඔවුන්ව මුණගැසීමට යා යුතුය. පසුව එන බව කියා පුතා නිවසින් පිටවී යයි.

විශ්‍රාමික තාත්තා දැන් සිටින්නේ තනිවමය. පුතා විවාහ වී ගෙදරින් පිටව ගොස්ය. පුතාට දුරකතනයෙන් කතා කරන තාත්තා, ඔහුව දැකීමට කැමැත්තෙන් සිටින බව කියයි. එහෙත් දැන් පුතාට වැඩ අධිකය. රැකියා ස්ථානයේ ප්‍රශ්න සහ ඔහුගේ දරුවන්ගේ ප්‍රශ්න ඔහුට තිබේ. හමුවීමට වෙලාවක් නැති නමුත් කතා කිරීමට ලැබීම සතුටක් බවත් ඔහු පවසයි.

පුතාගේ පිළිතුරෙන් කණගාටුවට පත්වන පියාට එක් වරම වැටහෙන්නේ, තමන්ගේ පුතා දැන් ගතකරන්නේ, තමන් ඔහු කුඩා කාලයේදී ගතකල ජීවිතයම බවයි. එනම්, පුතා ළදරු කාලයේදී පැවසූ පරිදි, ඔහු වැඩිහිටි වී ඔහුගේ තාත්තා වගේම වී ඇති බවය.

And the cat's in the cradle and the silver spoon
Little boy blue and the man on the moon

ගීතයේ එන මේ කොටසේ වචන භාවිතා වන්නේ සංකේතාත්මකවය. "Cat's in the cradle" දරු පවුල, නිවස වැනි අදහස දෙන අතර, silver spoon යන්න (සිංහලෙන්ද 'රිදී හැන්ද') සෞභාග්‍ය සංකේතවත් කරන්නකි. Little boy blue යන දුකට පත් දරුවා ද, man on the moon නිවසින් බොහෝ දුර බැහැර සිටින මිනිසා ද සංකේතවත් කරයි. අර්ථයක් වශයෙන් ගත් කල, තම පවුලට සෞභාග්‍ය උදා කරදීම සඳහා දුර බැහැරක රැකියාවකට ගොස් ඇති පියා සහ ගෙදර නැති පියා පිළිබඳ දුකින් තැවෙන දරුවෙක් මෙයින් ගම්‍ය වේ.

මේ ගීතය පිය පුතු සම්බන්ධතාවයටත් වඩා ජීවිතයේ ප්‍රමුඛතාවයන් නිවැරදිව තේරුම් ගතයුතු බවට කෙරෙන ඉඟියකැයි එක් තැනක සඳහන් කර තිබිණි.

-----------------------------

දැන් මම එක දරු පියෙක් වෙමි. රැකියාවට ගොස් මා ගෙදර එන තුරු දැන් මගේ පුතා මගබලා සිටී. තවමත් තෙහැවිරිදි ඔහු වචන එකිනෙක ගලපා කියන්නට තතනන කතන්දර ගණන නිමක් නැත. එකම පොතේ, එකම කතාව මා ලවා නැවත නැවතත් කියවා ගැනීම ඔහුගේ ලොකුම විනෝදාංශයකි. බොහෝවිට මා ඇඳුම් මාරුකර පැමිනෙණ තුරු වත් ඉස්පාසුවක් ඔහුට නොමැත. මම ගැලවෙන්නට නිදහසට කාරණා සොයමි.

"අනේ පුතේ තාත්තට දැන් මහන්සියිනෙ, පස්සෙ බලමු හොඳේ"

"පස්සෙ නෑ, දැන් ඕනේ"

"ඉන්න ඉන්න, තාත්තා ඇඳුම් මාරු කරල, මොනව හරි කාල එන්නම්, තාත්තට බඩගිනියි"

ඔහුගේ මුහුණ මැලවී යයි. පසුවට කල්දාන පොරොන්දු ඉටුවන්නේ කලාතුරකින් බව ඔහුගේ කුඩා මනසට වුවද වැටහේ.

ඔහුගේ මැලවුණු මුහුණ දකින මගේ සිතිවිලි ඉහත ගීතයේ පදවැල් මත නවතියි. මට ඉතිහාසය වෙනස් කල නොහැකි වුවද අනාගතය වෙනුවෙන් යම් වෙනසක් කල හැකිව තිබේ.

"කෝ එහෙනං ගේන්නකෝ පුතාගේ පොත"

මේ ලෝකය මෙතෙක් මා අත්විඳි ඉහලම සතුට, පුතුගේ මුහුණේ නැගෙන සිනහව යැයි මට පසක් වෙයි.


සබැඳි
http://www.lyricsdepot.com/harry-chapin/cats-in-the-cradle.html

http://www.lyricinterpretations.com/Harry-Chapin/Cats-the-Cradle
http://en.wikipedia.org/wiki/Cat's_in_the_Cradle 
http://www.youtube.com/watch?v=un2EfjEJAOA
http://www.brandmill.com/wp-content/uploads/2012/06/father-and-son_fist-bump.jpg 

70 comments:

  1. ඇස් ඉස්සරහා වැදි වැදි තිබ්බත් ගොඩක් අය මඟ ඇරගන්න දෙයක් තිසර ඔය... මටත් තාත්තා අමුතු කෙනෙක් වෙලා තිබ්බා පොඩි කාලේ.. ලොකු වෙනකොට තාත්තා ගෙදර නැති වෙලාවල් වලට වැඩිය ආස කළා... ඒත් මං නං ගොඩක් කලින් තේරුම් ගත්තේ දරුවන්ට දෙමවුපියන්ගෙන් ඕනේ මොනාද කියලා වැඩිපුරම... ලොකුම දේ එයාලට ඕනේ වෙලාවට ළඟ ඉන්න එක..

    දරුවන්ට සැප සලසන්න දේශ දීපංකරවල දුක් විඳින අම්මලා තාත්තලට, දරුවන්ගේ ලස්සනම අවස්ථාවන් මඟහැරෙන ‌කොට, මං හිතන්නේ ඒ වෙලාවේ නොවුනට පස්සේ කාලෙක උනත් දරුවෝ තේරුම් ගන්නව.. හැබැයි දෙමවුපියන්ට කවදහරි දුකක් දැනෙනවා අනේ අපිට දරුවගේ මේ ලස්සන දේවල් බලාගන්න බැරි උනානේ කියලා..

    අපේ තාත්තා රෑට හරි ගෙදර ආවා... සමහර දරුවෝ තාත්තා ගෙදර ආවම අඳුරගන්නෙත් නෑ... එතකොට ඒ තාත්තලට කොච්චර දුකක් දැනෙනවා ඇද්ද... මං හිතන්නේ හොයා ගෙන එන සැප සම්පත් වලට වඩා ඒ දුක වැඩියි කියලා....

    ReplyDelete
    Replies
    1. //ලොකුම දේ එයාලට ඕනේ වෙලාවට ළඟ ඉන්න එක..//

      මේක හරියටම හරි හිරු... හිරු කිව්ව වගේම ඕක පෙන්නේ නෑ ලේසියෙන්. අම්මලා තාත්තලා, ගොඩක් දේවල් කරන්නේ දරුවන් වෙනුවෙන්... නමුත් දරුවන්ට ඕනේ මොනවද කියන එක, ඒ ජීවන රටාව මැද්දේ යටපත් වෙනවා.

      Delete
    2. මනුස්ස කමේ, ආදරයේ සුවඳ හමන,
      මේ වදන් ඇසෙන විට
      මට ජීවත්වීමේ ආසාව වැඩිවෙනව,
      සිහින් පවන් රැල්ලකින්
      හිතේ තුවාල වේදනාව අඩුකරන වගේ දැනෙනව

      දරුවන්ට අවශය වේලාවට ලඟ ඉන්න
      උන්ට ඕන වෙන බඩ කඩුත්තුවක් නෑ
      කඹුරල ලොකු ලොකු බඩු කෑලි
      ගෙනාව කියල අපිට සමාවක්
      ලැබෙන්නෙත් නෑ

      ඒත්..
      මේ ඔක්කොම වේදනා විඳපු කෙනෙක් මං
      දුරු රට ගියයි කියල තාත්තල අම්මලට දොස් කියන්නෙත් නෑ මං

      Delete
    3. ජීවිතයේ අපි මුහුණදෙන ප්‍රශ්න හැම වෙලාවෙම අපිට එරෙහිව එන්නේ නෑ. සමහර අත්දැකීම් අපි නොදැනුවත්වම, අපේ ජීවිත ගමන් මග තීරණය කරනවා. යම් කිසි දුක්බර සිද්ධියක්, සංවේදී මිනිසෙක් බිහි කිරීමට දායක වෙනවා. වියොවක්, මිනිසුන්ගේ වටිනාකම් හඳුනගන්න උපකාරී වෙනවා. ජීවිතය අති සුමටලෙස ගලාගිය කෙනෙකුට වඩා, බාධක කම්කටොළු මැද්දේ ගෙවුන ජීවිත ලෝකයට දුන්න දේවල් වැඩියි. ඔවුන්, ඒ අත්දැකීම් වලට පාදක වුනු සිද්ධිවලට දොස් කියන්නෙ නෑ.. එයින් ලැබුණ හැඟීම උපේක්ෂාවෙන් දරාගෙන.. අන් අයගේ ජීවිත එළිය කරනවා.

      Delete
  2. ඕනෑම පිරිමි ලමයෙක්ගේ ගීවීතේ අවධි 3ක් තියෙනවාලු
    1. මගේ තාත්තා උඹලගේ තාත්තට දෙන්නේ විසි වෙන්න
    2. තාත්තා..ඒයා දන්න මගුලක් නෑ
    3. තාත්තා ඒ කාලේ කිව්ව විදිහට.......

    මිනිස්සු තමන්ගේ තාත්තා හරි කියලා හිතන දවස එන කොට ගොඩක් වෙලාවට ඒයාට තමන්ගේ තාත්තා වැරදියි කියලා හිතන පුතෙක් ඉන්නවා...

    ඒත් තිසරගේ කතාව ඊට වඩා වෙනස්...

    සමහර පවුල් වල තාත්තා කියන්නේ ස්භාවිකව සපයනු ලැබු බැංකුවක් විතරයී.

    ඒත් ඇත්තටම මගේ විශ්වාසය, සෑබෑ පෝසත් තාත්තා කෙනෙක් යනු ඒයා ගේ දෑත් හිස් වෙලා තියෙන වෙලාවට ලගට දුවන් එන දරුවෝ ඉන්නවනම් විතරයි. මගේ රස්සාවත් ටිකක් නැත්නම් පසුගිය අවුරුදු දෙක ඇතුලතවත් ටිකක් තිසරගේ තාත්තට සමානයි. ඒත් මමත් කොහොම හරි හෑම වීක් එන්ඩ් එකේම ගෙදර එන්න අමතක කරන්නේ නෑ. සමහර විට මට ගෙශර ඉන්න ලැවන්නේ සුමානේටම පැය 20 ක් විතරයි.ඒත් ඒ වෙනුවෙන් මඔ ක්.මි 400 ගමන් කරනවා.

    පියෙක් වෙන්න ඕනා කෙනෙකුට පුලුවන්..ඒත් ලමයින්ට කට පුරා තාත්තා කියන්න පුලුවන් කෙනෙක් වෙන්නේ විදේශිත පුද්ගලයෙකුට විතරයි....

    තාත්තෙක් හා පුතෙක් යනු ලේ හා මස් අතර සම්භන්ධයක් නෙවෙයි..ඒක හදවත් අතර සම්භන්ධයක්......

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++

      Delete
    2. ඔව් මයියා මටත් හිතෙනවා මගේ කතාව වෙනස් කියලා. අර කියලා තියන අවධි පවා මම අත්විඳලා නැහැ. අදටත් තාත්තා ගැන තියන හැඟීම අර පොඩි කාලේ තිබ්බ හැඟීමමයි. වෙලාවකට මට හිතෙනවා, ඔය අවධි අත්දකින්නේ තාත්තා එක්ක නිතර ගැවසෙන පුතෙක් විතරයි කියලා. එතකොටනෙ තාත්තගේ සහ පුතාගේ අදහස් ඝට්ටනය වෙන්නෙ. ඒ අර්ථයෙන් ගත්තහම අදටත් මට තාත්තා ගැන තියන හැඟීම එදා එකමයි කියන එකේ තියෙන්නෙත් ඛේදවාචකයක් නේද?

      මේක කතාවේ එක පැත්තක් විතරයි. සමහර දේ අතිශය පෞද්ගලික කාරණා නිසා කතා කරන්න බැහැ. අපේ තාත්තත් නිහඬව ළමයින් වෙනුවෙන් ගොඩක් දේවල් කල කෙනෙක් තමයි... ඒත් රැකියාව කියන කාරණය මුල් කරගෙන (ඒ රැකියා වෙනස ගැන හිතුවහම කිසිම විදියකින් ඒකට ගිය එකට දොසක් කියන්න බැහැ ) ඇති වූ දුරස් බව නැති කරගන්න තාත්තටයි මටයි ඉඩ ලැබුනේ නෑ. මටත් "මගේ තාත්තා" කියලා කටපුරා කියන්න පුළුවන් උනත්.. කවදාවත් හදන්න බැරි මොකද්දෝ අඩුවක් එතන තියනවා.

      Delete
  3. තාත්තා ගැන කියද්දී ගොඩක් දේවල් තියෙනවා කියන්න හ්ම්ම්..
    හරිම සංවේදියි මේක කියවද්දී

    ReplyDelete
    Replies
    1. ඔව් අපි හැමෝටම අපේම කතාවක් තියනවානෙ... ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete
  4. මම පිය සෙනෙහස උපරිමයෙන්ම විඳපු කෙනෙක්. ඒත් මගේ දරුවගේ හොඳම වයසෙදි මට ඒ සෙනෙහස පුදන්න බැරි උනා මෙන්ම ලබන්නත් බැරි උනා. ඒත් අවසානයේදී සුපිරි රැකියාවකට ආයූබෝවන් කියා නැවත පුතු ලඟට ආවා. මෑතකත් ආර්ථික අමාරු කම් නිසා සාජා ගිහින් මාසෙන් ආවේ රැකියාවේ ප්‍රශ්ණවලටත් වඩා දරුවා නිසා. ආයෙත් නම් කවදාවත් යන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. කවදාවත් ඒ ගැන පසුතැවෙන්න වෙන එකක් නෑ කියලා හිතනව මාතලන්. ඒ වගේ තීරණ ගන්න හැකියාවක් තිබ්බ එකම ලොකු දෙයක්. මග හැරුණු කාලය අපිට කිසිම විදිහකින් ආයේ ලබාගන්න බැරි දෙයක්. මමත් රැකියාවේ ඉදිරියට යෑමට ඇති අවස්ථා ගැන දැන් වැඩි උනන්දුවක් නෑ.

      Delete
  5. තාත්තගේ ආදරේ මහා පුදුම විදිහේ එකක්. එයා ඒක පිටට පෙන්නන්නේ නෑ. නැත්තෙමත් නෑ.. එවලේට අපිට හිතෙන්නේ තාත්ත අපිට ආදරේ නෑ කියලා. ඒත් ජීවිතේ අපිට මොන කරදරේ ආවත් එයා හදන්නේ අපිව ඒකෙන් රැකගන්න, අපිව බේරගන්න, ඒවගේම ගතවෙන හැම වෙලාවේම එයා හිතන්නේ අපි ගැන.අපේ පවුල ගැන..ඒ වුනාට ළමයි වෙච්ච අපිට ඒක හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කවද හරි අපිත් තාත්තෙක් වුන දවසට...

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම්... අපි තාත්තෙක් වුන දවසට අපිට අපේ තාත්තලා ගැන ගොඩක් තේරුම් ගන්න පුළුවන්. තාත්තලත් පෘථග්ජන මිනිස්සුනේ... තාත්තලා අතින් යම් අඩුපාඩුවක් සිදුවේලා තියනව කියලා හිතෙනවනම්, තමන්ගෙන්, තමන්ගෙ පුතාට ඒ අඩුව නොවෙන්නත් අපිට වෙනස් වෙන්න පුළුවන්.

      Delete
    2. ගොඩක් අයට ඔය දේ කරන්න බෑ තිසර... හැමෝම තරඟෙට යන්න හදන්නේ.. මම බඳින්න කළින් අපේ මහත්තයට කියලා තිබ්බේ රට යනවා නම් බඳින්න කලින් යන්න.. බැන්ඳට පස්සේ නම් රට යන්න එපා කියලා.. ඒ මං ගැන හිතලා විතරක් නෙවෙයි.. දරුවෙක්ට තාත්තා ඕනේ බඩෙන් එළියට එන වෙලාවට වඩා එයාලට වට පිටාව තේරෙන කාලෙට... කකුල් පැටලි පැටලි, අතින් අල්ලගෙන ඇවිද්දවගෙන යන‌ෙකාට තාත්තා කෙනෙක්ට කොච්චර සතුටක්ද... ඒක ස්කයිප් එකෙන් දකින කෙනෙකුට ඒ සතුට ලැබෙනවද... ඒ අය ඒ වෙලාවට විතරක් නෙවෙයි පස්සෙත් ඒක මතක් කරලා කොච්චර දුක් විඳිනවද කියලා මං දන්නවා...

      මට නම් දරුවො හැදිල්ල විඳවීමක් නොවී විඳින්න පුලුවන් දරුවගේ ලස්සන දේවල් අපි දෙන්නටම විඳින්න පුලුවන් උනොත් විතරයි කියන එක මං හිතන්නේ ගොඩ කාලෙකට කලින් තේරුම් ගත්තා මම.. අදටත් සල්ලි නැතුව කොච්චර අමාරු උනත්, කොච්චර දුක් විදින්න උනත් ඒ සතුට නම් නැති කරගන්නේ නෑ කියලා තමයි මං හිතන්නේ...

      Delete
  6. හොඳ අදහසක් හැමෝටම විඳ ගන්ඩ.තාත්තලා ගෙදර නැතිවෙන එක වලක්වගන්ඩ බැරිද?පැය අටක්ම වැඩ කළ යුතුද?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් රස්සාවේ හැටි තමයි දිනුක. ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ පැය අටේ රස්සානෙ. ලංකාවේ පැය අටේ රස්සාවත් පැය 9-10 කරන්න වෙන වෙලාවල් තියනවනේ. ටිකක් දියුණු රටවල මේ තත්වේ ටිකක් වෙනස්. ප්‍රවාහනය, ගමනාගමනයේ දියුණුව, ගෙදර ඉඳන් වැඩ කිරීම සහ රැකියාවට කලින් තම පවුල් ජීවිතේ කියන සංකල්ප නිසා. තාත්තලට අම්මලට වැඩි වෙලාවක් දරුවන් එක්ක ඉන්න පුළුවන්. ලංකාවෙත් සමහර තැන් වල මේ තත්වය තියනවා.

      Delete
  7. එල ආ ලෙසටම ලියලා තියෙනවා

    ReplyDelete
  8. අපේ තාත්ත නම් හවසට ගෙදර ආව නිසා මේ වගේ දෙයක් මම අත් විදලා නැ... ඒත් මේ වගේ කතා තව ගොඩක් අයගෙ ජිවිත වල ඇති. මාස 2ක 3නකින් නෙමෙයි අවුරුදු ගණනකින් ගෙදර එන තාත්තලත් ඉන්නවනේ රට රැකියා කරන. ඒ දරුවන්ට මේ අඩුව කොහොම දැනෙනවා ඇතිද? තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් ඒ දේවල් කරන්නේ. ඒත් එකෙන් පොඩි කාලේදී ළමයට තාත්තගේ ආදරේ අහිමි වෙනවා. ඒ නිසාම සමහරවිට නොදැනුවත්වම ළමයි ලොකු වෙනකොට ඒ තාත්තල තනි වෙනවා. අනේ මන්දා......

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී.. ඕකේ වරද අපිට කෙලින්ම අම්මා තාත්තා පිට දාන්න බැහැ. ඒ අයත් ඒ අයගේ දැනුමේ තේරුමේ හැටියට දරුවන්ට යහපතක් කරන්න, හොඳට උගන්නන්න, කෑම බීම යහමින් දෙන්න එහෙම කරන්නේ. නමුත් ඒ උත්සහය තුල පවුලේ සාමාජිකයන් එකිනෙකාගෙන් දුරස්වීමේ ඉඩ වැඩියි.

      Delete
  9. හුඟක් අයගෙ ජීවිත කැටි වෙලා තියෙනවා මේ සටහනේ. මං හිතන්නෙ කියවන හැමෝම තමන්ගෙ ජීවිතෙත් එක්ක සසඳා බලන්නට පොළඹවන ගතියක් මේ වචන තුළ තියෙනවා. ළමයින්ට දෙමවුපියන් ඕනෙ වෙන්නෙ කුඩා කාලෙදි. ළමයි කැදැල්ලෙන් ඉගිලිලා යන්න ලෑස්ති වුණහමයි හුඟක් දෙමව්පියො එයාලව ළං කරගන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරි ඇත්ත නලිනි.. මං නං ඒක හරියට අත් වින්දා.. අ‌ෙප් ආච්චි, අපේ අම්මයි තාත්තයි.... ඔය තත්වෙ මම පොඩි කාලේ ඉඳලම දැක්කා.. ආච්චි අවුරුදු ගානක් රට හිටියේ.. ආවට පස්සේ ආච්චි ලේලිලත් එක්ක හරි තරහින් හිටියේ ඒ කාලේ.. කිසිම ලේලියෙක්ට ඉන්න බෑ එයා එක්ක.. ඔක්කොටම වැඩිය අපේ අම්මා එක්කවත් ඉන්න බෑ.. අම්මයි ආච්චියි රණ්ඩු වෙනකොට මම තමයි අම්මට තේරුම් කරලා දුන්නේ එයාට දැන් තියෙන ප්‍රශ්නේ පොඩි කාලේ ළමයි ළග තියාගෙන බලාගන්න බැරි උන නිසා දැං එයාට ඕනේ ඒක කරන්න කියලා.. ඒක තේරුම් කරලා දෙන්න තරම් මට පුළුවන් කමක් තිබ්බ නිසා මට අපේ අම්මලට ඒ දුක දැනෙන එක අඩු කරන්න පුළුවන් උනා...

      Delete
    2. අම්මලා තාත්තලා අපි පොඩි කාලේ අපේ ජීවිත වඩා යහපත් කරන්න මහන්සි වෙලා, ඔවුන්ට විවේකයක් ලැබිලා දරුවන් සමග කාලය ගත කරන පුළුවන් වෙනකොට, දරුවන් ගෙදරින් පිටට යන කාලය ඇවිත්. අවසානයේ සිද්ධවෙන්නේ ඔවුන් බලාපොරොත්තුවන වඩා හොඳ ජීවිතය දරුවන් ලඟ නොමැතිව ගෙවල දාන්න. දියුණු රටවල, රැකියාවට වඩා දරුපවුලට ප්‍රමුඛත්වය දෙන්නේ, ඒකෙන් ඇතිවෙන අනිසි ප්‍රතිඵල ගැන අවබෝධයෙන් වෙන්න ඕනේ.

      Delete
  10. වැඩියමක් ලියන්නේ නැතුව යනවා. ඒ ලියන්න කාරණා නැති නිසා නෙමේ. ලියන්න කාරණා වැඩි නිසා අකුරු ගලපගන්න බෑ. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි. ජීවිත කාලේ මේ වෙනකම් ගෙවපු හැම මොහොතෙදිම තාත්තගේ ආදරය, රැකවරණය ලබන්න මට වාසනාව තිබ්බා. ඒ වාසනාව විදින්න මගේ දෝණිත් මේ වෙනකොට විදිනවා.

    තාමත් මගේ හොදම යාළුවා, විවේචකයා තාත්තා. තාත්තගෙන් තොර ඉදිරි ජීවිතයක් ගැන හිතන්න බැරි තරම් මම සංවේදී වෙන්න ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. මේ කතාවේ එක පැත්තක් විතරයි. අනිත් පැත්තේ ඉන්නවා ජීවිතය රස විඳින්න උගන්නපු, මනුෂ්‍යත්වය උගන්නපු, සාහිත්‍ය රසය උගන්නපු තාත්ත කෙනෙක්. නමුත් ඔය සිංදුව අහන හැම සැරේම මට හිතෙන්නේ... දැන් මමත් තාත්තා වගේමයි කියලා... ඒත් ඒ එකම වගේ චරිත දෙක අතර කාලය විසින් ඇති කරපු පරතරයක් තියනවා.. ඒ පරතරය ඇති කරලා තියෙන්නේ මාව මේ තත්වෙට ගේන්න තාත්තා දරපු උත්සහය තුලින්මයි. අමාරුයි බං මීට වඩා කියන්න... //අකුරු ගලපගන්න බෑ//

      Delete
  11. අද තමයි තිසර මේ පැත්තට ආවෙ . හරිම ආදරණීයයි මේ සටහන. මගෙ තාත්තා ගැනත් මට බොහොම ආඩම්බරයක් දැනුනා. ආදරය උපරිමෙන්ම ලැබූ අපිට මෙච්චර ලෝකේ ලස්සන දැක්කෙ ඔහු නිසාමයි. ඒ වගේම මගෙ ආදරණීය මහත්තයා ගැනත් බොහොම සතුටු හිතුනා. පසුතැවිළි නොවන්නට දරුවන්ට බොහොම ආදරය කලා, වගේම ආදරය උපරිමෙන්ම දුන්නා. අදටත් එලෙසම දරුවන්ට අතපසු වීමක් කරන්න කැමති නෑ. දැන් තරුණ වයසෙ හිටියත් යාලුවො වගේ හැම දේම බලනවා. මම සමහර වෙලාවට කියනවා දැන් එයාලට තනියම ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න දෙන්න, මෙහෙම පස්සෙන්ම යන්න ඕනෙ නෑනෙ කියල. ඒ උනාට එයාට තාම ළමයි පුංචියි. දරුවො සමහර වෙලාවට මේ දේවල් නොරුස්සනවාද දන්නෙ නෑ. ඒ උනාට එයාලත් හරිම සංවේදියි. ඒ නිසා තාත්තා එන්න ටිකක් පරක්කු උනත් අහනවා බලනවා. තාත්තා රට අත් හැරලා ආවේත් මේ දරුවො අපේ විදිහට හදාගන්නයි. මල්ලී ඔබටත් සිය පවුලටත් වාසනාව සතුට සෙනෙහස නිරතුරුවම ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තූතියි.. චන්දි මේ පැත්තේ ආවට. මමත් දැකලා තියනවා දරුවත් කොච්චර උස්මහත් උනත්, තවම පොඩි දරුවන් වගේ එයාල ගැන හොයලා බලන තාත්තලා.

      Delete
  12. මටත් මට ගොඩක් ආදරෙ කරන තාත්තෙක් ඉන්න්වා.ඒ අතින් මමත් ගොඩක් වාසනාවන්තයි.. මට ලියන්න් හිතුන එයා ගැන :)

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න... තාත්තලා ගැන ලිව්වට වැඩි වෙන්නෙ නෑ.

      Delete
  13. හරිම සංවේදීයි. මගේ ලෝකයේ වීරයා වෙන්න මගෙ තාත්තා ලඟ උන්නේ නෑනෙ. ඒ හන්දාම මම තාත්තාගෙ සෙනෙහස ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ තිසර..

    ReplyDelete
    Replies
    1. මට මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ ළිහිණි. නන්දා මලිනී ගෙ සිංදුවක් මතක් උනා. "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි - පායුග නැති ඔබ දකින තුරා".

      Delete
    2. ඔයාගේ කමෙන්ට් එක දක්කහම මට ගොඩක් දුකයි ලිහිණි .මොකද මන් තාත්ත කෙන්ක්ගේ ආදරය උපරිමව වින්ද .එසේ මෙසේ තත්තෙකුත් නෙවේ මගේ තාත්ත. වෙන ඒ වගේ කෙනෙකුත් දැකල නැහැ( දකින්න ඔනෙත් නැහැ ).මන් 9 වසර වගේ වෙනකම් නිදා ගත්තෙත් මගේ තාත්ත එක්ක.grade 6, 7 එනකම් තාත්ත සුප්පුව ගහල කුක්කු බෝතලේ දුන්නේ නැත්නම් මන් කිරි බොන්නෙත් නැහැ උදේට .ඒ තරම් ලං වීමක් ඒක. මට ගොඩක් දුකයි ඔයා ගැන තාත්ත කෙනෙක්ගේ ආදරේ විඳපු , ඒ ආදරෙන් අදටත් ජීවිතේ ගැටගහගන්න කෙනෙක් විදිහට.ඔයාගේ ඔය කමෙන්ට් එක මගේ තාත්ත දැක්ක නම් එයාට කඳුළු උනත් එනවා හොරාට.ඒ තරම් කෙනෙක් මගේ තාත්ත ලිහිණි.ඇත්තටම දුකයි දරුවෝ ඔයා ගැන. හොද මහත්තයෙක්ගේ දරුවන්ගේ, අම්ම වෙලා ඔයාගේ දරුවන්ට හොද අම්මෙක් තත්තෙක්ගේ ආදරෙන් ජීවිත පුරවන්න ලිහිණි .ඒකෙන් අහිමි උනයි කියල දැනෙන සෙනෙහස විදින්න තාත්තගේ.( ඒ කියන්නේ ඔයාගේ මහත්තයා දරුවන් ඉදිරියේ පියෙක් වෙද්දී ඔයත් ඒ සෙනෙහස විදින්න පුංචි දොණියෙක් විදිහට, තේරුනාද මන්ද )

      ඔයා හැම දේම දරාගෙන ඔයාගේ දරුවන්ට ඔයා විඳපු දුක දෙන්නේ නැහැ නැහැමයි කියල හිතාගෙන ජීවිතේට මුහුණ දෙන්න ලිහිණි. කරන්න බැරි වේවි මේ දේවල් 100% ,ඒත් උත්සහ හරි කරන්න..මාත් කිසිම බැරි උන දෙයක් ගැන දුක් වෙන්නේ නැහැ ,100% උත්සහ කරාට පස්සේ. ඔයාගේ ජීවිතේ ඒ ගෙවුණ දින පැය ටික මෙහෙම දේකින් ගන්න බැහැ තමයි ලිහිණි , ඒත් අපි අපේ දරුවන්ගේ ජීවිත එළිය කරමු.අපේ ජීවිත වලට හෙණ හතම ගැහිලා ගියදෙන් දරුවන්ගේ ජීවිත තත්පරෙකට හරි එලිය වෙනවා නම් ...

      Delete
  14. ඉන්ද්‍රජිත්December 23, 2012 at 3:51 PM

    ඔයා RearGate එකේ දාලා තිබුන කමෙන්ට් එකක් දැකලා මමත් අදමයි ආවේ තිසර..මේක බලත්දී මට මගේ ළමා කාලේ මතක් වුනා. දේශපාලන පලිගැනීමක ප්‍රතිඵලය ලෙස තාත්තා අම්පාරට මාරුකරලා දමපු හැත්තෑවේ දශකයේ මුල් කාලේ අපි හතරදෙනා සිකුරාදා රෑ ගතකරපු හැටි මතක් වුනා .. එතකොට දෙයක් මතක හිටින වයසක හිටියේ මම විතරයි මම වැඩිමලා නිසා. බොහොමයක් දාට ඉස්තෝප්පුවේ පුටුවක වකුටුවෙලා නිදාගන්න මාව තාත්තා ගෙදර ආවාම තමයි ඇඳට උස්සගෙන යනවා කියන්නේ. එතනම නින්ද යනකල් තාත්තාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්න එක ලු මගේ තෝරාගැනීම වෙලා තිබුනේ.

    අන්තිමේදී අද මමත් රඟපාන්නේ ඔයා, ඔයාගේ තාත්තා, Harry Chapin ඇතුළු හැමෝම රඟමින් සිටින චරිතයයි.

    "පියසමර" පොත කියවනකොට හිතෙනවා මේක පියවරුන්ගේ සදාකාලික ඛේදවාචකයද කියලා. භෞතිකව දුරස් නොවෙන පියෙකුට වුනත් පුතා එක්ක අනිවාර්ය දුරස් වීමක් තියෙනවා. සිංහබාහු සහ සිංහයා අතරත්, පියසමර රචක කුමාරතුංග මහතා සහ ඔහුගේ පියා අතරත් තිබුනේ එවැනි දුරස් වීමක්. අල්ලලා බැඳලා තියාගන්න ගියාම සබඳතාව වැඩිපුර දුරස් වෙනවා අනිවාර්යයි. සුද්ධෝදන රජතුමාත් සිංහබාහු එකේ සිංහයාත් කර ගත්තේ ඒ ටිකයි. මේ තත්වයට මුහුණ දෙන්නම වෙනවා. මාතලන් සහ ඔයා කරන කැප කිරීමට වුනත් මම හිතන්නේ ඒ ඉරණමට මුහුණ දෙන්න වෙනවා. එක සෙනෙහස පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. සොබාදහමින් පලතුරක බීජයක් වුනත් මවන්නේ මවු ගසෙන් හැකිතාක් ඇත් වෙන විදියේ සැලසුමක් ඇතිවයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් මේ පැත්තේ ආවට. ඔයා හරියටම හරි... අපි බොහෝ දෙනෙක් අද රඟපාන්නේ එකම චරිතයයි. කාලානුරූප වෙනස්වීම් වලට ලක්වුනත්, යටින් දිවෙන යතාර්ථය එකයි. ඕකෙ මෙහෙම පැත්තකුත් තියනවා... මේ ඛේදවාචකය හඳුනාගන්න පුළුවන් වෙන්නේ පිය-පුතු සෙනෙහස අඳුනන තාත්තලා පුතාලට විතරයි. තාත්තයි පුතයි එකම චරිතය රඟපෑවත්, කාලය විසින් ඔවුන් අතර පරතරයක් නිර්මාණය කරලා. නමුත් අර චරිතවල තියන සමානකම නිසාම පුළුවන් වෙනවා, තාත්තා සහ පුතා අතර තියන බැඳීම සහ වෙන්වීම එකවර දකින්න. ඒ හැඟීම තමයි මම හිතන්නේ මේ ගීතයෙන් කියවෙන්නෙ. 'පියසමර' පොත මම කියෙව්ව කාලෙ මට ඒක එච්චර වැටහුනේ නෑ. නමුත් දැන් එක නැවත කියවිය යුතුයි කියලා හිතුණා ඔබේ මතක් කිරීමෙන් පස්සෙ.

      ඔව් ඇත්තටම.. සිංහබාහු නාට්‍ය ගත්තත්, එතන තියෙන්නේ මේ අදහසම තමයි කියලා හිතෙනවා. ස්වභාවධර්මය පවා සකස් වෙලා තියෙන්නෙ, යම් ප්‍රජාවක පැවැත්ම තහවුරු වෙන ආකාරයට. හැම වෙලේම මූලිකත්වය ලැබෙන්නෙ ඉදිරි පරම්පරාවේ පැවැත්මට.. සනත් නන්දසිරි ගේ ගීතයක් තියෙන්නෙ "දූ දරුවන් අප අතහැර යාවී උන්ගේ දරුවන් රකින නියා" කියලා. මගේ පෝස්ට් එකෙන් කතා කරන්න උත්සහ දරපු ප්‍රශ්නය, ඔබේ කොමෙන්ටුවෙන් තවත් පුළුල් කරලා කියලා මට දැනෙනවා.

      Delete
  15. අම්මා තාත්තා ඇරෙන්න වටිනා සම්පතක් තවත් මේ ලෝකේ නැහැ. ඇත්තටම ලෝකයේ සියලු රසයන් හුරු කරලා පාර හදල දුන්නේ තාත්තා තමයි. ඒ ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බැහැ. මම දැන් වුනත් ගෙදර යන්නේ මාස එක හමාරකට දෙකකට වතාවක්. තාත්තා සහ අම්මා දෙන්නා ඒ යන වෙලාවේ ගෙදර හිටියේ නැත්නම් එන දුක මහ කියාගන්න බැරි එකක්

    ReplyDelete
    Replies
    1. ඔව් රතී, අපි හැමෝගෙම ජීවිත වල පොදු කාරණයක් තමයි ඕක. අපි දැන් බ්ලොග් ලියන අය අරං බලුවොත් 99% ම කියයි, යමක් දකින්න ඒ ගැන ලියන්න ආභාෂය ආවෙ අම්මගෙන් හරි තාත්තගෙන් හරි කියලා. නමුත් අපි අපේ ජීවිතය ගොඩ නගනකොට, දෙමාපියන්ගෙන් තරමක් දුරට හෝ ඈත්වෙන්න සිදුවීම, දරුවන් බොහොමයකට මුහුනදෙන්න වෙන ප්‍රශ්නයක්.

      Delete
  16. හොදටම නිදි මතේ උනත් මගේ තාත්ත වෙනුවෙන් මේ දේ කියල යන්න හිතුව තිසර .නිකම්ම නිකන් තාත්ත ෂෝයි ගණයේ පොස්ටුවක් නෙවේ මේක.

    මටත් මගේ තාත්ත මුළු ජීවිතේම , මේ මොහොතේත් මාව ජීවත් කරන්නේ මගේ තාත්තගේ ආදරය තිසර .අද මන් ලොකු මිනිහෙක් ඒත් අදටත් මට ඉන්නේ තාත්ත විතරයි මගේම කියල.වෙන එක කෙනෙක්වත් හනේ පනේ කිව්වට නැහැ මහේ තාත්ත ඇර.මන් තාත්ත වෙනුවෙන් නම් ගොඩක් දේවල් කරලා තියෙනවා තිසර .ඒ ගැන නම් වත් පසුතැවීමක් නැහැ.මාත් මගේ දරුවන්ට පණටත් වඩා ආදරේ දෙනවා මිසක් සල්ලි වලින් හිත පුරවන්නේ නැහැ.මගේ තාත්තගේ 1970 පඩිය රු 1224 හෝ ආසන්න මුදලක්.ඒක ඒ කාලේ හැටියට රු ලක්ෂ පහක් විතර මුදලක් මාසෙකට.ඒ විදිහේ ජීවිතයක් තිබ්බත් පස්සේදී මගේ තාත්ත අපේ පවුල , ඒ කියන්නේ මන් වෙනුවෙන් ඒ හැම දේම දාල ආව 89 වෙද්දී .එහෙම නොවෙන්න මේ වෙද්දීත් තාත්තට මාසෙකට ලොකු මුදලක් හම්බෙනවා.නමුත් තිසර මන් පුංචි කාලේ තාත්ත එක්ක පුස් බයිසිකලේ පොල්ලේ වාඩි වෙලා වෙසක් බලල එනවා . ඒ වෙන දෙයක් හින්ද නෙවේ පෙට්‍රල් ගැහුවොත් මට කඩල ගොට්ටක් වත් අරන් දෙන්න තාත්ත ලග සල්ලි නැහැ. තාත්තගේ අවංක කම නිසා තාත්ත ගොඩක් වැටුන පස්සේදී අනික් අයගේ ක්‍රියා නිසා..ඒත් මට බින්දක් වත් දුක නැහැ පුස් බයිසිකලේ පොල්ලේ ගිහින් කඩල ගොට්ටක් කාල ආවට..පුංචි හිත රිදුනත් මුලදී ආස දේවල් නැති කමට , තාත්තගේ ඇස් වල කඳුළු දැක්කම මගේ කඳුළු වේලුනා තිසර .පස්සේ මන් නැගිට්ටා .අද මාව වට්ටන්න බැහැ තිසර.මම සැඩ පරුෂයි කෙනෙක්ට හිතන්නත් බැරි තරම්, තද තීරණ ගන්නවා ,සමහර තැන් වලදී කිසිම අනුකම්පාවක් නැති තීරණ ගන්නවා.ඒ වෙන දෙයක් නිසා නෙවේ තාත්තට වැරදුන තැන් මන් දන්න නිසා තිසර.මන් කැමති නැහැ තාත්ත තවත් මන් වෙනුවෙන් දුක් වෙනවට. මට පුළුවන් දැන් හැම දේම උස්සන් යන්න. ඒ හැම දේම මගේ තාත්ත නිසා.එයාගේ ආදරය නිසයි.මේ දේ ලියද්දිත් ටිකක් හැන්ගීම් බර වෙනවා මාව.කතා ගොඩයි මා ළඟ .ඒ හැම දේම කියන්නත් ඕනේ තාත්ත වෙනුවෙන් මගේ.බලමු අපි.


    මට අදටත් මතකයි මන් බල්ලෙක් වගේ හැම දේම වරද්ද ගත්ත දාක ඇවිත් තාත්ත ලග වැටුන හැටි.එක බැල්ලියෙක් වත් මට හිටියේ නැහැ , තාත්තගේ ආදරය මාව ජීවත් කරා. එහෙම තාත්තෙක් නොහිටින්න අද මන් නැහැ තිසර .ගත උන හැම තත්පරේම ජීවත් කරේ මගේ තාත්තයි මාව.මගේ දරුවන්ටත් මන් මගේම තාත්ත වගේ පණ වගේ ආදරේ කරණ තාත්තෙක්. මන් හිතන්නේ ඒක ලොකු දායාදයක් මිනිහෙක්ට ලබන්න බැරි.

    ReplyDelete
    Replies
    1. එක එක පුද්ගලයෝ තමන්ගේ දෙමාපියන් සමග තියන සම්බන්ධය විවිධාකාරයි. මට නිතර හිතුණු දෙයක් තමා අපේ පරම්පරාව, අපේ දෙමාපියන්ගෙන් දුරස් වුනු පරම්පරාවක්ය කියන එක. නමුත් ඒ අතරේ ඔබ වැනි මව හෝ පියාට ඉතාම සමීප අය මට හමුවී තියනවා. 99% අම්මලා තාත්තලා තමන්ගේ දරුවෙකුට වැටෙන්න දෙන්නේ නෑ, වැඩිහිටි වූ පසුවත්. අම්මලා තාත්තලාගේ ආදරේ තියන විශේෂම දෙයක් තමා, ඔවුන්ගේ ආදරයෙන් පෝෂණය වන දරුවන්, ඒ දරුවන්ගේ දරුවන්ට ආදරණීය දෙමව්පියන් වීමට මග පෑදීම. ඒ වගේම එහි තියන ඛේදවාචකය තමයි, එහෙම වෙනකොට බොහෝ වෙලාවට අර දරුවන්ට දෙමාපියන්ගෙන් යම් තරමකට ඈත්වෙන්න සිදුවීම. තමන්ගේ දරුවන්වත්, දෙමාපියන්ටත් එකසේ ආදරය පෙන්වීමට ලැබීම කෙනෙක් ලබන ලොකුම වාසනාවක්.

      Delete
    2. තිසරට කියපු දේමයි..සහන් උඹටත් කියන්න තියෙන්නේ. උඹගේ මේ සටහන දැක්ක ගමන් මම කලේ තාත්තට කෝල් එකක් දෙන එක. මට වෙන මුකුත්ම කියන්න 'බෑ' කියන්න බැරි මම මෙතන ලියන්නේ කොහොමද..

      Delete
    3. අනිවා පේට්‍රියට් මට නම් අදටත් තාත්තව පේන සීමාවෙන් ඉන්න ඕනේ. සංසාරේ දික් කරන බැඳීමක් ... දවසක් තාත්තා මට කියපු දෙයක්
      තියෙනවා .ඒ දේ ඇහෙද්දීත් අදට උනත් මට එයාව නොදැක ඉන්න
      බැහැ .එක එක බැල්ලියෝ ( සොරි තිසර වචනෙට නමුත් මේ දේවල් කියන්නම ඕනේ ) පස්සේ ගියපු වෙලේ තාත්ත ළඟ හිටියනම් එදා , අද මට මේ ගෙවන ජීවිතේ හම්බෙන්නේ නැහැ..

      නමුත් ඒ වගේම තව කතා ගොඩක් තියෙනවා මේ ඇතුලේ..
      ඇයි මන් බැල්ලියෝ පස්සේ ගියේ ?

      ඔන්න ඔය ප්‍රශ්නේ මන් විසදනවා මගේ හැම
      පෝස්ට් එකක් අස්සෙන්ම .බලපන්කො ...

      Delete
  17. මට මේ පෝස්ටුව හොඳට දැනුනා තිසර.
    සාමාන්‍යයෙන් කියන්නේ දෙමවුපියෝ තමයි දරුවන්ට වැඩිපුරම ආදරය කරන්නේ කියලනේ. ඒත් ඒක හදවතටම දැනෙන්න නම් අපිත් ඒ තත්ත්වයට පත් වෙන්නම ඕනේ.

    සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්... තමන්ගේ අම්මලා තාත්තලා කල කැපවීම, ඔවුන්ගේ ආදරය හරියටම දැනෙන්න නම්, අපිත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. අවසනාව තමා එහෙම වෙනකොට, බොහෝ විට අපි අපේ අම්මගෙන් තාත්තගෙන් තරමක් හෝ දුරස් වී සිටීම.

      Delete
  18. මාරම විදිහට හිතට දැනුන පොස්ට් එකක් ..ඇත්තටම දරුවෙක් තාත්ත කෙනෙකුගේ සෙනෙහස විඳින්න ගොඩක් ආසයි තමයි ..දරුවන්ගේ හැගීම් සිතුවිලි කාර්යබහුලත්වය මද්දේ උවත් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් එක විනාඩියක් වෙන් කරන්නට පුලුවන්නම් ඇත්තටම අගනා දෙයක් :)ඔබටත් පව්ලේ සැමටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා රෙහානි. ඔව්, අපි දරුවන් වෙනුවෙන් වෙන් කරන සුළු හෝ කාලය, ඔවුන්ගේ ජීවිතේ හැඩ ගස්වීමට දෙන දායකත්වය අතිවිශාලයි.

      Delete
  19. තිසරයා මට මේක මග ඇරිල බං.. හැම දේටම වඩා මේ ගැන අවංකව හොදින් දැනෙනවා. උඹටත් උඹේ සුට්ටං පවුලටත් සුභම සුභ හැපි නිව් ඉයරයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා දේශක...

      Delete
  20. ඔබ නිවසින් ඈත් වී යොවුන් විය පියමන් කිරීමට සිදු වීම ගැන කනගාටු වෙද්දී, ඔබ හොද පියෙකු ලැබීමට තරම් වාසනාවන්ත වුන පුතෙකු වීම ගැන ඔබට සතුටු විය හැකි නේද? පියෙකුගේ රැකවරනය යටතේ ජීවත් වෙන්නට ලැබුනත් සමහර විට දරුවෙකුගේ ලෝකය ලස්සන කරන්නට ඉදිරිපත් නොවන, දරුවන්ගේ ආත්ම ගරුත්වය ගැන සිතා වැඩ නොකරන, ඔවුන්ගේ ඉදිරියාවට යහපතක් නොකරන පියවරු ලද දරුවෙකුට වඩා ඔබ මොන තරම් වාසනාවන්තද? එවැනි පියවරු නිසා ජීවිතයේ කොතරම් ඉදිරියට ගියත් හිතේ කියාගත නොහී දුකක් රදවාගෙන සිටින දරුවන් කොතෙකුත් සිටිද්දී ඔබට අහිමිව ඇත්තේ කොතරම් සුලු දෙයක්දැයි මටනම් හිතෙනවා. අනිත් අතට අපි හැමෝම අපේ ජීවිත දකින්නේ අපේ හිමි අහිමි වීම් තුලින් නිසා එය සුලු දෙයක්යැයි කීමට මට අයිතියක් නැතයි කියාද හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම mier අපි හැමෝම අපේ ජීවිත දකින්නේ තමන්ගෙ අත්දැකීම් තුලින්. පිය සෙනෙහස අහිමි කෙනෙක් දිහා බලලා, මට තාත්තෙක් ඉන්නවනෙ කියලා සතුටු වෙන්න පුළුවන්, ඒ වගේම තාත්තා පුතා ඉතා කිට්ටු මිතුරෝ වගේ ඉන්න තැනක් දැකලා මටත් මේ අත්දැකීම තිබ්බා නම් කියලා දුක හිතෙන්න පුළුවන්. නොලැබීම කියන එක හැම වෙලාවෙම තමන්ට ලැබිලා තියන දේවල් එක්ක සාපේක්ෂයි. තවත් විශේෂ දෙයක් තියනවා. මව්පිය දූදරු සෙනෙහස සම්බන්ධ කාරණා වලදී 'සුළු' අහිමි වීමත් කෙනෙකුට වැඩිපුර දැනෙනවා. ජීවිතයක ගමන් මග වෙනස් කරන්නත් ඒවට පුළුවන්..

      Delete
  21. තිසර අස්වැන්නට ඇවිත් තිබුණ මංසලකුනු ඔස්සේ තමයි මම ආවේ.. මං ආයෙ එන්නම් මේක කියවන්න. දැන් හරි..

    උදාවූ නව වසර ඔබට සියලු ඉසුරින් පිරි සුබ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ බ්ලොගය ඇස ගැටුනේද අහම්බෙන්.... ඔබගේ පැරණි ලිපි කියවන්නට හිතාගෙනයි ඉන්නේ.... ඔබටත් සුභ නව වසරක් වේවා...

      Delete
  22. ඇත්තටම මිස් වුනානම් අපරාදෙ කියලා හිතෙන පෝස්ට් එකක් තිසර. මාත් ආවේ මගේ බ්ලොගේ කමෙන්ට් හරහා.

    අපේ පවුලේ සාමාජිකයින් අතරෙ ගොඩනැගෙන මේ දුරස්ත භාවය බිඳින්න මගෙ වයිෆුත් එක එක උපක්‍රම යොදනවා. එකක් තමයි එක තැන ඉඳන් කෑම කන එක. අනික ලැප්ටොප් ස්ක්‍රීන් දිහා බලාගෙන හරි එක තැනක ඉඳන් වැඩ කරන එක වාගෙ දේවල්. මේවා විහිලු වගෙ පෙනුනත් සෑහෙන ප්‍රතිඵල තියෙනවා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එකට කෑම කන එක ගොඩක් හොඳ දෙයක්... අනික මං උත්සහ කරන දෙයක් තමයි යාලුවෝ නැතුව පවුලේ කට්ටිය විතරක් ඉඳහිට හරි ට්‍රිප් එකක් යන එක. අපි වැඩිය ගනන් ගන්නෙ නැති පොඩි දේවල් වලින් තමයි මේ දුරස් වීම පටන් ගන්නෙ.

      Delete
  23. තාත්තල ගැන මේ අවකාශයේ කියවන හැම මොහොතකම මට මගේ තාත්තව මතක් වෙනව..
    තිසරගෙත් මගෙත් තාත්තත් එක්ක ගෙවුණු ළමා කාලය ගොඩක් සමාන හන්ද වෙන්ඩ ඇති මට මේක වඩාත් දැනෙන්නෙ... හරියකට පොල්ලකින් ගහල වගේ ඔලුවට...

    අපි යමක්කමක් තේරෙන වයස වෙනකොට අපිට තාත්ත නැති වෙලා ඉවරයි.. එයා එක්ක මීට වඩා ලඟින්, සුහදව කාලය ගත කරන්ඩ තිබුනනම් හොඳයි කියල හිතෙන කාලෙ වෙද්දි වචනයක් වත් නොතියාම තාත්ත හදිස්සියෙම යන්ඩ ගිහින්....
    අන්න ඒ පසුතැවිල්ලට ඉඩ තියාගන්ඩ නං එපා තිසර... ඒක දරාගන්ඩ අමාරුම දෙයක්!! බ්ලොග් එකක සටහන් දාහක් ලිව්වත් හිඳෙන්නෙ නැති දුකක්!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කොමෙන්ට් එක දැක්කහම මාව ටිකක් ගැස්සිලා ගියා... මට බ්ලොග් එකේ මෙහෙම ලියන්න පුළුවන් උනෙත් සමහර විට තාත්තා තාම ඉන්නවනේ, මේක ඉදිරියෙදි වෙනස් කරගන්න පුළුවන් වෙයිනේ කියන සිතුවිල්ල උඩ වෙන්න ඇති... ඒත් ඔයා කියනව වගේ දෙයක් උනොත් නම්.. ඒ පසුතැවිල්ල දරාගන්න බැරි වෙයි තමයි, මේච්චර ඒක තේරුම් අරගෙනත්, ඒ වෙනුවෙන් කිසිදෙයක් නොකල එක ගැන... බොහෝම ස්තූතියි..

      Delete
    2. සමා වෙන්ඩ..තිසර ඒක මං ලියපු විදිය තද වැඩි නම්.. ඒත් මම ඒක සරල කරල බර අඩු කරල කිව්ව නං මගෙ හිතේ ඒ ගැන තියෙන අවංකම දේ කියවෙන එකක් නැති වෙයි.. ඒක ඔයාට මේ තරම් දැනෙන එකක් නැති වෙයි.. සහ අන්තිමට ඒකත් එක කමෙන්ට් එකක් සහ රිප්ලයි එකක් වෙයි...
      දැන් අඩු ගානෙ මට කරන්ඩ බැරි වෙච්ච දේ ඔයා කරාවි කියල මට හිතෙනව

      Delete
    3. සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ හංසකිංකිණි (නම දිග වැඩි නැද්ද?)... ඔයා කියපු අවස්ථාවට මමත් මුහුණ දුන්නොත්, ඒක බ්ලොග් එකක ලියන තරම් සරල කාරණයක් නෙමෙයි කියන එක එකවරම තේරුම් ගිය නිසා තමයි මට එහෙම දැනුනේ. අපි තේරුම් ගත්තත්, අපි අතින් මග හැරෙන කාරණයක් නැවතත් මතක් කරදීම ගැන ස්තුතියි කියන්න තමයි මට උවමනා කලේ... කොහොමත්, කියන්න තියන දේ අවංකවම කියන එක තමා කල යුත්තේ... ඒ ගැන දෙවරක් හිතන්න එපා.

      Delete
    4. නම දිග වැඩියි වගේද?? එහෙනං ජනූ කියන්ඩ..
      ස්තූතියි මං කියන්ඩ හදපු දේ හරි විදියටම තේරුම් ගත්ත එකට...
      නැවත හමුවෙමු

      Delete
  24. Replies
    1. me de oya balanna thisara..oyage comment ehekata man dapu rep ekak me...
      othana thiyenne link ekak ...

      Delete
    2. ඔව් සහන්.. මම සාමාන්‍ය කැමරාවක් ගන්නත් කලින්ම ගත්තේ වීඩියෝ කැමරාවක්. අන්තිමේ ඔය ට්‍රිප් ගියාම, කොන්සට් වලදි වීඩියෝ කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරි උනා.. ඒ එක්කම තාක්ෂණය වේගෙන් ඉදිරියට ගිහින්.. අපි රස්සා වලට කොටුවෙලා... ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියනවා.. අනික ඕකෙදි තනියම කරන්න අමාරුයි, ඔය ඉන්ටරෙස්ට් එකම තියන කීප දෙනෙක්වත් එකතු වෙන්න ඕනේ... බලමු ඉස්සරහට.. මාත් ඉන්නෙ ලංකාවෙ නෙමෙයිනෙ.

      Delete
  25. thisara apvl dammath nathath oyaata kawru hari comment
    kala gaman mail ekak enawa..e nisa amuthuwen aprvl
    dala comment mail ganna one na ibema enawa blog owner ta ..

    ReplyDelete
    Replies
    1. ඔන්න මං අහක් කලා... මම එහෙම දාලා තිබ්බේ මට ඔෆිස් එකේදි බ්ලොගර් එක බලන්න පුලුවන් උනාට, ජීමේල් ඇක්සස් නෑ... අවුලක් නෑ... ගෙදර ගිහින් බලලා කොමෙන්ට් කොරන්න බැරියෑ....

      Delete
    2. හරි හරි ඒ කියන්නේ බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකෙන්ද කමෙන්ට් බලන්නේ
      ඔයා ? ජි මේල් බ්ලොක් කරලද ?hidemyass.com වගේ proxy සයිට් එකකින් යන්න බැරිද ?
      (ඒ උනාට ඒක නිකන් හරි නැහැ බ්ලොක් කරලා තියෙන්නේ හේතුවකටනේ ..)
      කමක් නැහැ තිසර aprvl දාන්න .. its ok...

      Delete
  26. වෙසක් බලන්න යන්න ඇඳගෙන ඉන්න කියල ඒගැන අමතක වෙච්ච අපේ තාත්ත....යාළුවො එක්ක දේශපාලනය කතාකරලා අපි නිදාගන්න ගියාට පස්සේ ගෙදර ආව අපේ තාත්තා ...
    වැඩිය ගොඩක් ජිවිතේ ගැන සිහින් මැව්වේ නැති අපේ තාත්ත ..අපේ සිහින ලොකු වෙනකොට තාත්ත ගේ අල්පේච්ච සිහිනත් එක්ක සටන් කලා.
    අපි අතර ලොකු හිඩැසක් ඇති වුනා ..


    පස්සේ කාලෙක අපි අපේ සිහින සොයා ගෙන ආපසු හැරිලා බලද්දී තාත්ත එතනම හිටියා .

    ඉක්මනටම යන්නත් ගියා .

    තිසරගේ ලිපිය හරිම සංවේදියි. අපේ දුලගේ තාත්ත හරිම වැඩ වැඩි කෙනෙක්. හුඟක් දාට ගෙදර එද්දී පොඩි දෝනි නිදී. අක්ක නම් ඇහැරලා . සිකුරාදාට දෙන්නම බලන් ඉන්නවා
    ඉස්කෝලේ හුඟක් දේවලට යන්නේමන් විතරයි.

    ප්‍රින්සිපල් දවසක් මට කිවා .ළමයින්ගේ ලස්සන අවධිය නොදැක දවසක තාත්තල කනගාටු වෙයි කියල .
    ඊයේ පොඩි දෝනිගේ කොන්සර්ට් එක . යන්තම් භාගයක් යද්දී දුවගෙන ආවා . කෙල්ලගේ මුනේ මල් හතයි.

    දැන් ඉස්සරට වඩා අම්මල තාත්තලා දැනුවත් කියල මට හිතෙනවා .
    කතන්දර කියන්න නම් එයා වැඩකටම නැහැ කියලයි දුලා කියන්නේ . පිටු මග අරිනවලු . කතා වෙනස් කරනවලු .
    තාත්ත එක්ක ගේ මැද්දේ ක්‍රිකට් ගහන්න තමයි වැඩිය කැමති. මාසෙකට කෝප්පයක් දෙකක් හෙම කඩනවා .
    ආයේ ඕමි ,,උනො වගේ කාඩ් සෙල්ලම් කරන්න තාත්ත ඉන්නම ඕන . ඒ ඇරෙන්න ලොක්කි නම් වැඩිය ආස තාත්තගේ ඇඟට කකුල් දෙකත් දාගෙන නිදාගන්න .

    ඒ වග්මයි මන් කොච්චර බැන්නත් ගානක් නැහැ . වැරදිලා හරි තාත්ත මොනවා හරි කිව්වොත් දෙන්නම මුණ දෙක වෙනවා . කඳුළු කඩා වැටෙනවා . තාත්තලාගේ හිත ඔය කඳුළු වලට දිය වෙන්න තත්පරයයි ගතවෙන්නේ


    ReplyDelete
    Replies
    1. මට පුතෙක් හැටියට දැනෙන දේ තමයි.. තාත්තයි මමයි අදහස් අතින් ගොඩක්ම එක වගේ... අපි දෙන්නගේ රුචිකත්වයත් සමානයි.... ඒත් ඔය පොඩි වයසේ ගෙදර නොයිඳිල්ලේ ඉඳලා දිගින් දිගටම ඒක සිද්ධ වුනාම තරණය කරන්න බැරි පරතරයක් අපි අතර ඇතිවෙලා කියලා හැඟෙනවා...

      අපේ තාත්තත්, මමත් ළමයින් එක්ක ගොඩාක් සෙල්ලමට යන විදිහේ නෙවෙයි.. අනිවාර්යයෙන් මම තාත්තට වඩා වැඩියෙන් ඒකට යොමු වෙනවා... අම්මලා තමයි ලමයින්ගේ හැම දේටම ලඟම ඉන්නේ.. නමුත් බින්දි කියනවා වගේ තාත්තා කෙනෙක්ගේ වචනයක් ළමයෙකුට තදින් දැනෙනවා... සමහර වෙලාවට මට හිතෙනවා දරුවගෙ වැඩ ගොඩක් කරන්නෙ අම්මා නිසා මම ටික වෙලාවකට ගෙදර නැති උනාට කමක් නෑනෙ කියලා.. ඒත් නිශ්ශබ්ද තාත්තා කෙනෙක් උනත් ලමයින්ගේ ලඟින් ඉඳීමේ බලපෑම කොච්චරද කියලා දැනෙන්නේ එහෙම තාත්තා නොයිඳපු අයට තමයි.. සැර පරුෂ තාත්තා කෙනෙක් උනත් ලමයි එක්ක නිතර ඉන්නවා නම් බැඳීමක් ඇති වෙනවා... ළමයින්ගේ ජීවිතේ මිස් වීමේ අඩුව නම් මොනවා කලත් පුරවගන්න අමාරුයි...

      බින්දිගෙ ගෙදරත් හරිම සුන්දර ඇති කියලා මට හිතෙනවා... තාත්තත් උපරිම උත්සාහය දෙනවා වගේ දූලා හුරතල් කරන්න..

      Delete
  27. හරිම අපූරු ලියවිල්ලක්..හදවතින්ම සුභ පතනවා...මම මේ පාර දිගේ ..චමින්ද ගුණරත්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට..

      Delete
  28. අය්යෝ තිසර වචන 10 ක් හරි ලියන්න...

    ReplyDelete
  29. තිසර මට හරිම සතුටුයි ඔයාගේ ලිපිය කියවන්න ලැබීම ,, ලින්ක් එක එවුවට ස්තුති ,, ඒ වගේම ඔයා ගැන ආඩම්බරයි ,, ඔයාගේ දරුවා ගොඩක් වාසනාවන්තයි ,, මගේ ප්‍රර්ථනයත් මේ වගේම ,,, අනාගතයක් මගේ දරුවන්ටත් කවදාහරි දෙන්නයි ,,

    ReplyDelete
  30. අදයි කියෙව්වෙ. මගේ පොඩි එකාට නං දැනට තාත්තගෙන් ඕන කරන හැම දෙයක්ම ලැබෙනව. අනාගතේ මොනව වෙයිද දන්නෙ නෑ. මීට වැඩිය ලියන්නෙ නෑ. උඹ ලිව්ල්ල නවත්තල නෙව!

    ReplyDelete