Friday, December 14, 2012

ජාතිවාදීන් සහ දේශද්‍රෝහීන්....


තණකොට කන හරක් සහ බත් කන හරක් වශයෙන් බෙදීමක් පසුගිය කාලයේදී බ්ලොග් අවකාශයෙන් මම අහුලා ගතිමි. මෙහිදී බත් කරන හරක් වශයෙන් අර්ථ දැක්වුනේ රටේ මහ ජනතාවය. මේ කියමන සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් මගේ එකඟතාවයක් ඇත. එම නිසා හරකෙක් වශයෙන් මට කිරීමට හැකි වැදගත්ම දේ (තප්පුලෑම නොවේ) කිරීමට මම සුදානම් වෙමි. ඒ නම් 'වමාරා කෑමකට' ය. පැත්තකට වී නිවී හැනහිල්ලේ වමාරා කෑමෙන්, කලින් හදිසියේ ගිල දැමූ දෑ, හෙමින් හෙමින් හපා කෑමෙන් අලුත් රසයක් දැනීමට ඉඩ ඇති අතර, නොදැනුවත්වම ගිලී ඇති කුණු රොඩු 'තුහ්' කියා ඉවත දැමිය හැකිය.

සිංහල ජාතිය සහ බෞද්ධ ආගම බේරාගත යුතුය. මෙහෙම කියන්නේ දේශප්‍රේමීන්, හෙළයන්, සැබෑ බෞද්ධයන් වන අතර, මේ දෙක බේරාගත යුතු වන්නේ ප්‍රධාන වශයෙන් ඉස්ලාම් භක්තියන් වන මුස්ලිම් ජාතියෙන්ය. ඒක එහෙම වන විට, ඒවාට විරුද්ධව කතා කරන සිංහල බෞද්ධ පිරිසක්ද සිටී. ඔවුන්ට අනුව ඉහත කී පිරිස ජාතිවාදී වේ. එනම්, ඔවුන් අනුගමනය කරන ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය, රටේ ජාතිවාදය ව්‍යාප්තවීම සහ ඒ මගින් බිහි කරන මහා ව්‍යාසනයකට පාර කැපීම බවයි. මුලින් පිරිසට අනුව දෙවැනි කොටස, දේශද්‍රෝහී නැතිනම් නපුංසක  වේ. එනම් තමා අයත් ජාතිය සහ ආගම ගැන කිසි කැක්කුමක් නැති, යම් යම් දේට මුලා වී හෝ තමන්ට ලැබෙන වාසි නිසා තමන්ගේම එවුන්ට වල කපන පිරිසක් බවයි.

මම කියන්නට යන දෑ අදාල වන්නේ මේ කණ්ඩායම් දෙක සම්බන්ධයෙන් බැවින්, මම පලමු කණ්ඩායමට 'ජාතිවාදී' කණ්ඩායම සහ දෙවන කණ්ඩායමට 'දේශද්‍රෝහී' කණ්ඩායම යැයි කියමි. ඒ මෙම කණ්ඩායම් ඔවුනොවුන්ට අලවා ඇති ලේබල් විනා, ලිපිය ලියන මා  විසින් එම වචනාර්ථයෙන් කරන හැඳින්වීමක් ලෙස නොසැලකුව මැනවි.

'දේශද්‍රෝහී' කණ්ඩායම, 'ජාතිවාදී' කණ්ඩායම සම්බන්ධයෙන් නගන ප්‍රධාන තර්කයක් නම්, බෞද්ධාගම රැක ගැනීමට යැයි කියමින් ඔවුන් බෞද්ධාගමේ හරයන් අමු අමුවේ විනාශ කරමින් සිටින බවයි. කොටින්ම වෛරය වෛරයෙන් නොසංසිඳේ යැයි උගන්වන බුදුදහම රැකගැනීමට කියා වෛරයම ව්‍යාප්ත කරමින් සිටී යන්නය.

භාෂාව මූලික කරගෙන අපි සිංහල ජාතිය වන අතර, අදහන ආගම බුදුදහම බැවින් බෞද්ධයෝ වෙමු. නමුත් කෙනෙක් 'මම සිංහල බෞද්ධ' යැයි කීම ඉහත කී ආකාරයට ලඝු කලහැකි දෙයක් නොවේ. ජාතිය සහ ආගම (තවත් දෑ) ආශ්‍රයෙන් සංස්කෘතියක් බිහිවන අතර, අපි සිංහල බෞද්ධ යැයි කීමේ අර්ථය වඩාත්ම සමීප වන්නේ අපි මේ සංස්කෘතියට අයිති බව කීමට යැයි මගේ හැඟීමය.

සංස්කෘතිය යන්නට විවිධ නිර්වචන ඇතත්, සංස්කෘතියක් යනු අප හැදෙන වැඩෙන පරිසරය තුල වූ යම්කිසි හර පද්ධතියක් ලෙස සරලව හැඳින්විය හැකිය. ඉතින් අප හැදුනු වැඩුනු සංස්කෘතියට අපගේ ඇති සම්බන්ධතාවය අවිඥාණිකව අප තුලම වෙයි. මේ සංස්කෘතිය වෙනස් වූ විට, එක වරම අපට එය දරා ගත නොහැකිවන්නේ අප තුල වූ එම බැඳීම නිසාය. පිටරටක ජීවත්වීමට යන කෙනෙකුට ඇතිවන 'හෝම් සික්' යනුවෙන් හඳුන්වන්නේ එම හුරු පුරුදු වටාපිටාවෙන් ඈත්වීමේදී සිතට දැනෙන අපහසුතාවයයි.

සංස්කෘතිය යනු ආගම සහ ජාතිය පමණක්ම නොවේ, නමුත් එහි හඳුනාගත හැකි ලක්ෂණ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ බොහෝ විට ආගම, භාෂාව සහ ජාතිය වේ.

ඒ අනුව දැන් ඇතිවී තිබෙන තත්වය, අන්‍ය ආගමක්, ජාතියක් ඔළු ගෙඩි ගණනින්ද, බල පරාක්‍රමයෙන්ද රට තුල සීග්‍රයෙන්, බලෙන් ව්‍යාප්ත කරවීම නිසා (එසේ කිරීමට සංවිධානාත්මක උත්සහයක් ඇති බව ද පෙනෙන්නට ඇති හෙයින්) තම සංස්කෘතියට එල්ලවන බලපෑමෙන් එය මුදා ගැනීමට ආගම සහ ජාතිය සංඛේත ලෙස භාවිතා කරමින්, ගෙන යන වැඩපිළිවෙලක් ලෙස මම දකිමි.

බුදු දහම බේරා ගැනීම වෙනුවෙන් සටන් පා‍ඨ කියන්නවුන් වෙතින්, බුදු දහමේ හරයන් බලාපොරොත්තු විය නොහැක්කේ මේ නිසාය. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන් වෙතින් ජාතිය, භාෂාව ගැන විශේෂ දැනුමක් අවබෝධයක් බලාපොරොත්තු විය නොහැක්කේ මේ නිසාය. ජාතිය සහ ආගම නාමයෙන් කරලියට පැමිණියත් ඔවුන් පෙනී සිටින්නේ ඒවා ආශ්‍රයෙන් ගොඩනැගුණු තමා අයිතිවන සංස්කෘතිය වෙනුවෙනි. ඊටත් වඩා සරලව කියන්නේ නම්, එය තමන්ට හුරු පුරුදු ජීවන රටාව වෙත එල්ලවන බලහත්කාර කමක් ලෙස ඔවුන්ට පෙනෙන බැවිනි.

කුමක් ඇසුරින් ගොඩ නැගුනද, මිනිසුන්ට තමන්ගේ ජීවත්වීමේ ක්‍රමය (way of living) වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇත. ඒ අර්ථයෙන් ජන කොට්ටාශයක් වශයෙන් මුස්ලිම් මිනිසුන්ට, සිංහල බෞද්ධයන්ගෙන් (සහ අන් ජාතීන්ගෙන් ) එල්ල වන විරෝධය අසාධාරණ නොවන බව මට සිතේ. ඉස්ලාම් ආගමේ ඇති ඉගැන්වීම් (නැතිනම් ඒවා අද අර්ථදක්වා ඇති ආකාරය ) සහජීවනය යන සංකල්පය සමග නොපෑහේ. ඉස්ලාම් ආගම මගින් ඇතිකරන දැඩි ආගම් භක්තිය, විරුද්ධ මත කෙරෙහි මැදහත් සිතින් බැලීම අපහසු කරවයි. තමන් ජීවත්වන ක්‍රමය, අන් ජාතීන් ජීවත්වන ක්‍රම අභිබවා ඉහලින් තැබීමට මුස්ලිම් නායකයන් ක්‍රියා කරන අයුරු පැහැදිලිව දැකගත හැකිය. බහුතරය මුස්ලිම් නොවන පසුබිමක, මුස්ලිම් ජනතාවගේ මෙම ස්වභාවය එම සමාජය තුල ප්‍රශ්න ඇති කිරීමට දායක වේ.

බළලා මල්ලෙන් පනින්නට පෙර....

සාමාන්‍ය වර්ග කිරීමට අනුව මමත් පහසුවෙන්ම අයිතිවන්නේ දෙවෙනි කොටසටය, එනම් 'දේශද්‍රෝහී' ගොඩටය. නමුත් වමාරා කෑමේදී, මා වැටෙන ගොඩ මම මොහොතකට අමතක කරමි. අඩුම ගණනේ එසේ කිරීමට උත්සහ දරමි.

දැන් මෙම 'දේශද්‍රෝහීන්' කල යුත්තේ කුමක්ද?

මම ඉහත පැහැදිලි කල කාරණය නිසා, 'ජාතිවාදී' කණ්ඩායම හැසිරෙන්නේ ආගමේ හරයන්ට අනුව නොවේ යැයි තවදුරටත් තර්ක කිරීමෙන් පලක් නැත. මේ පිරිසට කල හැකි වැදගත්ම දේ වන්නේ, ආගම සහ ජාතිය, මේ විරෝධයන්ගෙන් ඉවත් කිරීමට දායක වීමයි. නැතහොත් ආගම ජාතිය මේ තුල උළුප්පා නොදැක්වීමයි. මේ මගින් සිද්ධවන්නේ එකම සිරුරකට, වෙනස් සළුපිළි ඇන්දවීම ලෙස බැලු බැල්මට පෙනෙනු ඇත.

මේ අපබ්‍රංශය මෙසේ තේරුම් ගනිමු.

ආගම, සහ ජාතිය යන සංකල්ප මතින් නිර්මාණය වන ගැටුමක් මහා ව්‍යාසනකාරී වන්නේය. ආගමක්, ජාතියක් යනු බොහෝ විට මිනිසාට තාර්කිකව ලැබුණු දෙයක් නොව ඔහු ලද යම් උරුමයකි. මේවා තාර්කික ප්‍රශ්නාර්ථයට ලක් කිරීමක් කල නොහැක. එනම්, කෙනෙක් තමන්ගේ ආගම ජාතිය අනුව යුද්ධයකට එලඹේ නම්, එය තාර්කික අවසානයක් කරා ගෙන යා නොහැකිය. එය පරම්පරා ගණනකට ඇදෙන මහා විනාශයක් පමණකි. මේ රටේ දෙමළ ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් ඇති බව මම සිතමි. නමුත් වසර 30 සටන්කොට ඔවුන් කිසියම් ජයග්‍රහණයක් ලබා තිබේද? වසර 30 පෙර ඇරඹි සටන අවසන් වන විට, එය ආරම්භ වීමට බලපෑ හේතු නියෝජනය කරන ලක්ෂණ එහි තිබුණිද?

එනයින්, මේ ඇතිවීමට ඉඩ ඇති ගැටුමෙන් ආගම සහ ජාතිය ඉවත් කර ගැනීම අතිශය වැදගත් වේ. ඒ මහා ව්‍යාසනයක් වලක්වා ගැනීමට පමණක්ම නොව ඇත්තෙන්ම මා ඉහත දැක් වූ පරිදි ආගම හෝ ජාතියට සෘජුවම සම්බන්ධ ප්‍රශ්නයක් නොවන නිසාය.

විරෝධතාවය එල්ල විය යුත්තේ, ආගම සහ ජාතියේ නාමයෙන් සිදුවන සමාජ පීඩාවන්ටය. රටේ ආරක්ෂාව උදෙසා බෝධි පූජාවට ගෙනයන කිරි කළයකටද කූරක් ඔබා පරීක්ෂා කල කාලයක් විය. ඒ යමෙකුගේ සැදැහැවත් බවට වඩා තවෙකෙකුගේ ජීවිතය වටිනා බැවිනි. මුස්ලිම් ජාතිකයන් සමහරක් අනුගමනය කරන සම්පූර්ණ මුහුණු ආවරණය කිරීම ප්‍රසිද්ධ ස්ථාන වල සිදු කිරීම තහනම් කල යුතුය. තම ආගමට සුවිශේෂිත හලාල් වැනි සංකල්ප පොදු සමාජය මත පැටවීම තහනම් කල යුතුය. ඉස්ලාම් නීතියට අනුව විවාහ සිදු කිරීම, ඉස්ලාම් නීති අනුව බැංකු ණය දීම් සිදු කිරීම තහනම් කල යුතුය. එමෙන්ම, සිංහල ජාතිය නැතිවේ යැ‍යි බියෙන් වඳ සැත්කම්, ගබ්සා කිරීමට ඉඩ ලබා නොදීමට ද විරුද්ධ විය යුතුය.

අපගේ විරෝධතාවය එල්ල විය යුත්තේ, ආගම හෝ ජාතිය මුල් කරගෙන නොව, අප ජීවත්වන ක්‍රමය මුල්කරගෙන බව මා කියන්නට තතනන දේ තුල ඇති සරල තේරුමයි. ජීවත්වන ක්‍රමය යනු නියතයක් නොවුනත්, එය රැඩිකල්ව වෙනස්වන දෙයක් ද නොවේ. කාලයට සාපේක්ෂ ලෙස එය වෙනස්වන අතර, අප විරුද්ධවිය යුත්තේ කෘතිම සහ රැඩිකල් ලෙස එය වෙනස් කිරීමට උත්සහ දැරීමට එරෙහිවය.

මිනිසා යනු තනියෙන් ජීවත්විය හැකි සත්ව කොට්ටාශයක් නොවේ. එම නිසා ඔවුහු  රංචු ගැසෙති. ඉන්පසු දකින්නට ලැබෙන්නේ එකතුවීම සහ වෙන්වීම අතර අපූරු චිත්‍රයකි. රටවල් වශයෙන් එකතුවන අතර ප්‍රාදේශීය වශයෙන් බෙදේ, ආගම අනුව එකතුවන අතර නිකාය අනුව බෙදේ. භාෂාව අනුව එකතුවන අතර උච්චාරණය අනුව බෙදේ. තමා තනි නොවන බව පෙන්වන අතරම තමන් අනන්‍යය බවද පෙන්වීමේ ක්‍රමයක් බව මගේ තේරුම් ගැනීමයි. මේ අයිති වීම සහ අනන්‍යතාව ප්‍රකාශ කිරීම ඉස්පසු සාපේක්ෂව සිදුවේ. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟයකදී 'අපි ශ්‍රී ලාංකික' වන පිරිස, උනුන් අතර සිදුවන විවාහයකදී, ජාතිය, ආගම, කුලමල, සමාජ තත්වය යන සියලු දේම සොයා බලයි. මෙවැනි බෙදීම්, එකතුවීම් ඉවසා දරා ගත හැකි තරමට අපේ සංස්කෘතිය වර්ණවත් වන අතර වර්ණ අතර පැහැදිලි වෙනසක් දැකීම ද අපහසු කරවයි.

මේ බෙදීම් වලට නිසි පිළිවෙල අනුව වටිනාකම් ලබාදීමත් සිදුවිය යුතු තව දෙයකි. ආගම යන්න නිකායට වඩා ද, ජාතිය යනු ආගමට වඩා ද, රට යනු ජාතියට වඩා ද, මනුෂ්‍යත්වය යනු ඒ හැම දේටම ඉහලින් තිබෙන්නක් බවද තේරුම් ගත යුතුය. ශ්‍රී ලාංකිකත්වයට හිමි සැබෑ වටිනාකම අපේ රටේ ලබාදී නැති බව මගේ අදහසයි.

වාර්ගික යුද්ධයකින් වසර තිහකට වැඩි කලක් බැට කෑ අප, යුද්ධය අවසන් වී වසර තුනක් වැනි කෙටි කලක් ඇතුලත නැවත අර අඳිමින් සිටින්නේ තවත් එවැනි මහා ව්‍යසනයකට බව සිතේ. මේ ප්‍රශ්නය ගැන කතාකරන බොහොම ස්ථාන, තවමත් ආරම්භ නොවූ මේ යුද්ධය වචන මට්ටමෙන් පැවැත්වෙන යුද්ධ භූමි මෙනි. මෙය කිසිකෙනෙකුට පහර දීමට, හෙලා දැකීමට ලියවුනක් හෝ, බ්ලොග් තුල වචන යුද්ධ සිදු කරමින්, එකිනෙකාට පහර ගසමින් සතුටු වීමට ඉඩ ලබාදීමට ලියවුනක් නොවේ. තමන් විශ්වාස කරන සත්‍ය මතම සදාකාලිකව එල්බ නොඉඳ ඒවා යම් කිසි ස්වයං විවේචනයකට ලක් කිරීමට (වමාරා කෑමකට ) බඳුන් කරන ලෙස ඉල්ලා සිටිමින්, එවැනි ස්වයං විවේචනයක් කිරීමෙන් පසු මට හිතෙන හැටි ප්‍රකාශ කිරීමට ලියූ ලිපියක් බව සලකන්න.

25 comments:

  1. මේක නම් ඉදිරියට ගෙනියන්න ඕනේ කතාවක්... මගෙත් අදහස මේකම උනත් මෙච්චර පැහැදිලිව කියාගන්න කවදාවත් බෑ...

    ReplyDelete
    Replies
    1. මේක මට හොදට ලියා ගන්න බැරි හින්දා මම දැම්මා මේකේ ලින්ක් එකක් සිරාගේ පෝස්ට් එකේ හොඳේ...

      Delete
    2. අපි නිතර දකින අහන කියවන දේවල් ගැන ආයෙත් හිතනකොට සමහර වෙලාවට වෙනස් විදිහකට හිතෙනවා. ඒක තමයි මම ලියන්න හැදුවේ. ලින්ක් එකක් දාලා සප් එකක් දුන්නට ස්තූතියි හිරු.

      Delete
  2. මම හිතන්නෙ කියන්න ඕනෙ දේ පැහැදිලිවම ලියවිලා තියෙනවා.. ස්තුතියි තිසර.

    මේ අපේ රට.. මේ අපේ ආගම..මේ අපේ ජාතිය.. අපි කතා කරන්නෙ එහෙමයි. " අපේ කියන බදා ගැනීමේ තෘෂ්ණාවෙන්..

    මම සිංහල මව්පියන්ට දාව ඉපදුන කෙනෙක්. මගෙ දෙමාපියන්ගෙ ආගම කතෝලික වූ නිසා..මගෙ ආගම කතෝලික. එතකොට මම " සිංහල බෞද්ධ " කියන කොටසට අයිති නෑ.

    ආගමක් ජාතියක් බදාගෙන ජාතිවාදියෝ...ආගම් වාදියී වෙනවාට වඩා...ජීවිතයේ මැදුම් පිළිවෙත තේරුම් අරගෙන සියල්ල නැසෙන සුළුයැයි සිතාගෙන ධර්මයේ හැසිරෙන්න පුළුවන්නම්...

    හැමදෙයකටම ජාතිවාදය ...ආගම්වාදය ඇදලා අරගෙන බෙදීම් වලට අපේ අදහස් දමන්නේ ඇත්තෙන්ම සිතිවිලිවල, සංකල්පනාවල තියෙන දුබලකම හන්දා...

    ReplyDelete
    Replies
    1. ඔව් ළිහිණි, 'අපේ' කියන සංකල්පය මතුවෙන්න ඕනේ කිසිසේත්ම තම කෙනෙක්ව හෙලා දැකීමට නොවිය යුතුයි. එක රටක් ඇතුලේ තියන විවිධත්වය සහ ඒ විවිධත්වය තුල 'අපේ' තැන හඳුනාගැනීම වරදක් නෙවෙයි. නමුත්, අපු අපේකම වැඩියෙන්ම භාවිතා කරන්නේ අනිත් අයව පහත් කිරීමේ චේතනාවෙන්. අන් අයට නැති දෙයක් අපිට තියනවා යන හැඟීමෙන්. එතන තමයි අපේ වැරැද්ද.

      Delete
  3. මෙය රටක් ලෙස ඉදිරියට යා යුතු කාලයක් මිස ජාතිය අගම බදාගෙන නැටිය යුතු කාලයක් නෙවෙයි....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් ඉන්ද්‍රජිත්. යම් යම් දේ අනුව සමාජයේ බෙදීම් තිබුනත්, ඊට වඩා අපිට එකමුතු විය හැකි 'රට' කියන සංකල්පයට අපි දෙන වටිනාකම අඩුයි. අපේ රට යනුවෙන් නොසිතා, රට තුල ඇති භාෂා, ආගම් අනුව ඇති බෙදීම් ගැන අපේ අවධානය යොමු කරන්න ගියොත්, අපේ රට ඇතුලෙම අපි තවත් ප්‍රශ්න ඇති කරගන්නවා විනා, රටක් වශයෙන් කිසිම ජයග්‍රහණයක් ලබන්නත් බැරි වෙනවා.

      Delete
  4. //මේ බෙදීම් වලට නිසි පිළිවෙල අනුව වටිනාකම් ලබාදීමත් සිදුවිය යුතු තව දෙයකි. ආගම යන්න නිකායට වඩා ද, ජාතිය යනු ආගමට වඩා ද, රට යනු ජාතියට වඩා ද, මනුෂ්‍යත්වය යනු ඒ හැම දේටම ඉහලින් තිබෙන්නක් බවද තේරුම් ගත යුතුය.//මේ කතාව ඇතුලේ මම හිතන්නේ මගේ අදහස තියනවා .එමෙන්ම වෙනත් ආගමක් හෝ ජාතියක් තවත් ආගමකට හෝ ජාතියකට යටි කුට්ටු කුජීත කුමන්ත්‍රණ ගෙන යනවානම් නිවටයින් ලෙස බලා සිටීමද මෝඩ ක්‍රියාවක් .

    ReplyDelete
    Replies
    1. කිසිම අවස්ථාවක කිසිම ජන කොට්ඨාශයක් නිවටයින් විය යුතු නැහැ. ඒ හැඟීම ඇති කරන්න රටක් වශයෙන් අපි අපොහොසත් වෙලා තියනවා. අද දේශපාලකයා කියන්නේ ජාතිවාද ආගම්වාද හෝ ඕනෑම ආකාරයක කුණු අවුස්සලා තමන්ගේ මල්ල ලොකු කරගැනීමට දතකන පිරිසක්. රටේ සිදුවන දේවල් වලට (හොඳ හෝ නරක ) ආගමික, ජාතික දෙන අර්ථකතන නිසා, මිනිස්සු හැම දේම දකින්නේ ඒ විදිහට.

      Delete
  5. මේ ගැන මගේ අදහස ලිපියකින් පලකරලා තියන නිසා , නැවතත් විස්තරාත්මක කියන්න යන්නේ නෑ . කොහොම වුනත් අපේ රට යුද්ධෙන් පස්සේ මේ යන්නේ නිකන් "ටයිම් පාසින්" යුගයක් , ආණ්ඩුව මහා දැවැන්ත සංවර්ධනයක් මවනවා එත් මිනිස්සුන්ට එහෙම දැනෙන්නේ නෑ , හැබැයි ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් ගොඩ නැගෙන්නෙත් නෑ . ආණ්ඩුවත් විපක්ෂයත් ජනතාවත් ඔහේ බලාගෙන ඉන්නවා (ආණ්ඩුව අහක යන කුණු බාල්දි පෙරගන්න එක පොඩ්ඩක් පැත්තකින් තියමු ) . මේ වගේ නිශ්චල තත්වයක් ආර්ථික සහ ආකල්පමය වශයෙන් දියුණු සමාජයක සාධණීය කාරණයක් , මේ වගේ වෙලාවක තමයි අලුත් අදහස් ,සංකල්ප, කලා නිර්මාණ බිහි වෙන්න අවශ්‍ය වටපිටාව තියෙන්නේ . හැබැයි අපේ වගේ ආර්ථික සහ ආකල්පමය වශයෙන් නොදියුණු සමාජයක් මේ ඒකාකාරිත්වය රුස්සන්නේ නෑ , මතුවෙන ප්‍රවනතාත් සාධනීය නෑ . මුස්ලිම්වරු ඔවුන්ගේ ආගම තුලින්ම මෝඩ ආකල්පමය වශයෙන් නොදියුණු කොට්ටාශයක් , ඔවුන් එදත් අදත් ක්‍රියාකලේ එකම විදිහට . එදා යුද්ධයට (සහ දෙමලාට විරුද්ධව ) පෙල ගැහිලා හිටිය මිනිස්සු ඒක දැක්කේ නෑ . දැන් නිශ්චල සමාජය ඇතුලේ ඔවුන් ඒක දකිනවා (ඒක හොඳයි ) , ඒකට ලබාදෙන ප්‍රතිචාරයත් අපේ සමාජ ආකල්ප වලට අනුව වැරදියි කියන්න බෑ . ආගම් , ජාති අමතක කරල මානුෂවාදීව මුස්ලිම් ව්‍යාප්තවාදයට පිලිතුරු සෙවීම බ්ලොග් වල ලියවෙන සටහන් වලට විතරක් සිමා වෙන්නේ ඒකයි .!

    ReplyDelete
  6. යුද්ධයෙන් පසුව සිතාගෙන සිටි අවම තැනටවත් එන්නට නොහැකි වි ඇත.ඒ දේශපාලනයේ තිබෙන අත්මාර්ථ අසාවාන් සපුරා ගැනිම නිසාවෙනි.රටක අවස්සතාවය වෙනුවට එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ කැමැත්ත පමණයි ඉට කරන්නේ.තමන්ගේ ආගම තමන් පිළි පදිනවා නම් මේ කිසිත් ගැටළු නැ.එහෙත් කුහක ගති වලින් මිනිසා අද දුෂණය වේලා.ජාතිවාදය අවුස්සන්නේ පටු ආකල්ප දරණ පුද්ගලයින්.තමන්ගේ මතය පමණක් සක්‍රිය විය යුතු යන්න හිතාගෙන ඉන්න ගොඩාක් දෙනෙක් අද ඉන්නේ.බුද්ධ ධර්මයේ කිසිම තැනක නැ තව කෙනෙකුට අවමන් කරන තැනක්.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඔබ කරුණු ගලපා ඇති ආකාරය විශිෂ්ඨයි.

      Delete
    2. ඔව් ගයනි. රට විදිහට හිතන මානසිකත්වක අපිට නැහැ. හැම වෙලේම හදන්නේ මොකක් හරි වෙනසක් හොයාගෙන කල්ලි ගැහෙන්න. රටේ දේශපාලනය, දේශපාලකයෝ රටේ මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තියෙන්නේ ඒ ආකාරයට තමයි.

      Delete
  7. කතන්දරේ හරියටම හරි තිසර .ඒත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ
    රැල්ල බර මොන පැත්තටද කියා , ඒ පැත්තට හැරීම ගැනයි.
    මිනිසුන්ට උවමනා රැලිය .හුරේ දමා ගැන්සි බැස මොකක් හෝ
    කිරීමයි..එයට සහසුද්දෙන්ම ගැලපෙන්නේ
    01. ජාති ආලය.
    02.ආගම අගතියෙන් මුදවා ගැනීම
    03.ඔය දෙකම අනා සාදා ගත් යමක්

    වගේ දේවල්ය." මේ කොල්ලෝ මෙච්චර දගලන්නේ රටට තියෙන
    කැක්කුමට බොලව් " යනුවෙන් නිබඳවම ඔවුන් ගරුත්වයට පාත්‍ර වන
    නිසාවෙනි.පැහැදිලිවම මේ බ්ලොග් අවකාශයේ කිසිම හසරක් නොදන්නා
    උන් නියම බොදු පුත්‍රයන් වීමට දගලන දගලීමෙන් පෙනෙන්නේද ඔබ කිව්වා සේ
    ///" කොටින්ම වෛරය වෛරයෙන් නොසංසිඳේ යැයි උගන්වන බුදුදහම රැකගැනීමට කියා වෛරයම ව්‍යාප්ත කරමින් සිටී යන්නය." ////
    වීම පමණි.
    මේ සත්‍ය තේරුම් යාමට නම් තිසර අනිවාර්යෙන් සමාජ බර දැනෙන මට්ටමට
    පරිනත වී සිටිය යුතුයි ..ඒත් මේ පිරිස දෙමව්පියන්ගෙන් යැපෙන කී බෝර්ඩ්
    වීරයන් පමණි.නමුත් ඔවුන් මේ කරන විනාසය ජාතියක් ( ශ්‍රී ලංකා ) වශයෙන්
    අපට මාරු පහරකි..

    නමුත් මේ සිද්දි ක්‍රියා දාමය පිටුපස සිටින කපටි වැඩිහිටි පිරිස නියමාකාරයෙන්
    මොවුන්ගේ යව්වන මදයෙන් ඵල නෙලා ගනිමින් සිටී..83 සිදු වූයේද , 89 සිදු
    වූයේද මෙයයි.

    සසිරාගේ පොස්ටුවේදී , බුවා , මා ඇර තවත් අතලොස්සක් ඇර අන් සියල්ල
    පැවසුයේ " තම්බි හැත්ත කැති ගෑ යුතුයි " යන්නය..
    සුමටව කීවද අදහස එකමය..ඒත් ඇත්තට කැති ගාන දාට ඔය එකම කෙනෙක්වත්
    එන්නේ නැත..අන්න එතැනයි ගැටලුව තිසර..ගින්නට පුළුන් දාන නිවටයන්
    ගින්න ඇවිලුණු පසු ඇඳ යට සැගවෙනු ඇත ..ඔබ අප වැන්නවුන්ට ගින්න
    නිවීමට සිදු වනු ඇත...


    අද තමයි මේ බ්ලොග් එකට අවේ..

    ReplyDelete
    Replies
    1. hapoyi me nariya mekatath awilla.. uba iwarai tisara

      Delete
    2. එකඟයි සහන්. දැන් රටේ තියන ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික වටපිටාව මගින් වැඩියෙන් බිහිවෙන්නේ ඇතුලත බොල් මතුපිටින් වීර චරිත රඟපාන අය තමයි. කවුරු හරි ඒ තත්වය ඉක්මවා පරිණත බවක් ලබනකොට ඔවුන් කරන්නේ, අර බොල් චරිත තමන්ගේ උවමනා එපා කම්වලට පාවිච්චි කරන එක, එහෙමත් නැත්නම් ඒ බොල් චරිත නිර්දය විවේචනයට ලක් කරන එක. මම ලිපියෙන් මතු කරනන් හදන්නේ යම් පරිණත බවක් තියන අය, ඒ තරම පරිණත නොවූ අන් අය (බොල් චරිත ) වෙත දක්වන ආකල්පය සහ ඔවුන්ව යම් ආකරයකින් පරිණත කිරීමට දරන ක්‍රියාවලිය මීට වඩා වෙනස් විය යුතුයි කියන එක මතු කරන්න.

      මත ගැටුමක් ඇති වූ පමණින්, එකිනෙකාට චෝදනා කර ගනිමින්, එතනිනුත් නොනැවතී පෞද්ගලික දේවල් පවා සොය සොය මඩ ගසමින්, අපි කරන්නේ කිසි කෙනෙකුට වැඩක් ඇති දෙයක් නෙමෙයි. අපි මරාගන්න හදන්නේ කවදාහරි රටේ වෙනසක් ඇති කරන්න නම්, ඒ වෙනසට පොදුවේ අපි බහුතරයකගේ සහය අවශ්‍ය වෙනවා කියන එක අමතක කරලා දාල, යම් මතයක් වෙනුවෙන් අපි කුලල් කා ගන්නවා. කුලල් කා ගැනීම මැද්දේ අර මතය යටපත් වෙලා පෞද්ගලික දේවල් උඩට ඇවිත්, කල්ලි ගැහිලා, එකිනෙකා මරාගන්නවා. කතිකාවක් කියලා කියන්නෙ ඒකටද?

      හොඳට හිතලා බැලුවොත් පෙනෙයි මේ බහුතර බ්ලොග් කරුවන් අතර තියෙන්නෙත්, අපේ රටේ තියන ලොකුම ප්‍රශ්නෙක එක්තරා ස්වරූපයක් කියන එක. අපි විරුද්ධ මතධාරීන් එක්ක වැඩ කරන්න දන්නේ නෑ. අපි කෙනෙකුට චොදනා කරනවා නම් ඔහු රැල්ලකට හුරේ දමාගෙන යන බව, ඒ එක්කම අපිත් තේරුම් ගන්න ඕනේ අපි කලයුත්තේ උන්ට කෝචොක් දමමින් ඉඳීම නොවන බව.

      Delete
  8. http://kathandara.blogspot.com/2012/12/women-detectives.html?showComment=1355804352320#c7149038796467073744

    ReplyDelete
    Replies
    1. හරි අපි කකාගේ බ්ලොග් එක අත ඇරලා මෙතන කතා කරමුකෝ... අඩුම ගානේ මගේ හිට්ස් වලට හරි හොඳයිනෙ.

      ඉස්සෙල්ලම කියන්න.. උඹේ කලින් කොමෙන්ට් එකේ තිබ්බ විදිහට මම ඇනෝලාට විරුද්ධ නැති බව. මම ඇනෝ ඩිසේබල් කරලා නෑනෙ. ඒ කියන්නෙ වැරැද්දට කලින් දඬුවම් දීලා නෑ. මම අකමැති උඹලා ඔය ඉල්ලන නිදහස ඇතුලේ, එක මිනිහෙකුගේ බ්ලොග් එකක් චා වෙන එක ගැන. උඹලා ඇනෝ නිදහස ඉල්ලනකොට, කකාගෙ බ්ලොග් එක ප්‍රකාශන මාධ්‍යක් විදිහට යොදා ගන්නකොට, ඒ බ්ලොග් එක, පෝස්ට් එක ගැන කිසි සැලකීමක් නැහැ. අන්න ඒකට මම විරුද්ධයි. ඔය පූර්ණ නිදහස ඉල්ලන හැම තැනකදිම වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් තනි මිනිහෙකුට අසාධාරණයක්. 'මිනිස් වර්ගයා' කියන මහා සංකල්පය ඇතුලේ රසික, තිසර, අරුණි වගේ තනි පුද්ගලයෙක් නොසලකා හැරෙනවා. මිනිස්සු විශ්ව ගම්මානය ගැන කතා කරද්දි, පාරක් නැතුව, වතුර, ලයිට් නැතුව, ඉන්ටර්නෙට් දන්නෙ නැතුව ලංකාවේ කොණක තියන ගම්මාන අපි අමතක කරනවා.

      මම පටන් ගත්තේ ලඟදි, ඉතින් මට කල්ලි නැහැ.. කිසිම බ්ලොග් කරුවෙක් මම පෞද්ගලිකව දන්නේ නෑ. උඹ කියන ඉතිහාසය ගැන කිසිම දෙයක් දන්නේ නෑ. නොදැන සිටි දෙයක් සොයා බලන්නට වෙහෙසක් ගන්න බැහැනේ. දැන් උඹ කිව්ව කියලත් ඒවා හොයා බලන්නේ කොහොමද කියන මට තේරෙන්නේ නෑ. දන්න උඹලා ඒවා කියන්නේ නැත්නම් අපි කොහොම දැන ගන්නද?

      අන්තිමට... ප්‍රොෆයිල් ඇති බ්ලොග් කරුවන් සිටින නිසා, උඹ ප්‍රොෆයිල් අවශ්‍ය නෑ කියන උඹේ අදහස කියාගන්නවා. මට බ්ලොගයක් තියනවා, ප්‍රොෆයිල් එකක් තියනවා. ඒ නිසා උඹ මාව හොයන් ඇවිත් උඹේ උත්තරය මට පෙන්වනවා. මම? බලයිද, නැද්ද දන්නේ නැති, ඇත්ත කියනවද විහිලු කරනවද දන්නේ නැති, කියන අදහස වෙනුවෙන් ඇත්තටම පෙනී සිටිනවද කියලා දන්නෙ නැති එකෙක් වෙනුවෙන් උත්තරයක් ලියලා බලං ඉන්නවා.

      කාට කියන්නද මේ දුක... ඇනෝ ඔබම හැර?

      Delete
  9. දේශප්‍රේමි හා දේශද්‍රෝහි සංකල්ප සාපේක්ෂ කරුණු. ඊට වඩා එහා ගිය ස්වායත්ත දෙවල් තමා ජාතිකත්වය, ඒ කියන්නේ සිංහල දෙමල මුසල්මානු කියන එක නෙමෙයි.. ලාංකික, ඉන්දියානු, ඇමරිකානු කියන දෙය. අප ලාංකික ජාතිය ලෙස සිතීම එසේ කිරීමට පුරුදු කිරීම එය සපුරා හදවතට දැනෙන එක නොදැනෙන තාක් කල් ඔය ප්‍රශ්නය තියෙයි තිසර..

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ලෝකේ තව කොච්චර රටවල් තියනවද බහු සංස්කෘතියක් තියන. වැඩිය ඕනෙ නෑ ඉන්දියාවේ කොච්චර බෙදීම් තිබ්බත්, මගේ රට ඉන්දියාව කියන සංකල්පය ඇතුලේ උන් එකමුතුයි. ඒකයි මම කිව්වේ බෙදීම් වලට අදාලව වටිනාකම් ලැබෙන්න ඕනේ කියලා. මිනිහෙක් තමන්ගේ ජීවිතයට වඩා ආගමකට ජාතියකට ආදරය කරනවා නම්, එතන අර වටිනාකම නියම විදිහට ලැබිලා නෑ.

      Delete
  10. සාර්තක ලිපියක්. නමුත් ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ඇතිවීමට දේශපාලනය මහඟු කර්තව්‍යක් කරනු ලබනවා. මා මේ වෙනත් දිශාවකට තල්ලු කිරීමක් නොවේ. අපේ පාලකයින්ට මෙවැනි වර්ගවාදී ආකල්ප ජනතාවගෙන් බැහැර කරන්න පුළුවන්. නමුත් එය අපිට නොදැනෙනා අයුරින් එය පෝෂණය කරනවා. මන්ද යත්, ඔහුන්ගේ පැවැත්ම බඩගෝතරවාදී දේශපාලන ගමනක් මඟින් රඳා පවතින බැවිනි. තවත් අයුරකින් කියනවානම්,
    ධනේශ්වර ක්‍රමයේ අරුබුධ හමුවේ එහි සහායට පැමිණෙන සඟයකි ජාතිවාදය....
    අතීතය අපට අවශ්‍ය තරම් උදාහරණ සපයා ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එකඟයි. ජනතාව දැනුවත් නොවනතාක් කල් ඔවුන්ගේ බඩගෝස්තර දේශපාලනය රැකෙන බව ඔවුන් දන්නවා. මේ ලිපියේ අරමුණ වුනේ මේ ආගම්වාදය මුල් කරගෙන අපි (බ්ලොග්, FB) ආදියෙහි එකිනෙකාගේ ආගම් වලට පහර ගැසීම නිරර්ථක බව කියන්නටයි.

      Delete
  11. මේ ජාතික ප්‍රශ්නයත් දේශපාලනිකයි. අනිත් හැමදේම වගේ. මේ රජයේ පාලනය තුළ තියෙන දේශපාලනය සියුම්ව අවබෝධ කරගෙනයි ප්‍රතිචාර දක්වන්න ඕනෙ.

    ReplyDelete
  12. >>තමා තනි නොවන බව පෙන්වන අතරම තමන් අනන්‍යය බවද පෙන්වීමේ ක්‍රමයක් බව මගේ තේරුම් ගැනීමයි.<<
    මචං අපි වැඩ කරන මාල දිවයින් රාජ්‍යය එකම ජාතිය එකම ආගම. ඒ වුනාට එකම පුංචි දූපතේ ඉන්න මිනිස්සු පවා උතුරේ දකුණේ කියලා බෙදිලා ගැ‍ටුම් ඇති කරගන්නවා හුඟක් වෙලාවට.

    ReplyDelete