Friday, September 28, 2012

යම්කිසි රාමුවක් තුල...........



උසස්පෙළ පන්තියේ අපේ පන්ති භාරව හිටියේ තිලකරත්න සර්... මේ කියන දවස් වල මාතෘකාව චලිතය පිළිබඳ නිව්ටන් ගේ නියම තුන. ඔය ප්‍රධාන මාතෘකාවට අමතරව, නියම තුනේ චලිතය, නිව්ටන්ට හැර නියම තුනක් තිබ්බ අපි දන්න කියන අය ගැන උප මාතෘකා තිබ්බා වැඩක් නැති වෙලාවට කතා කරන්න. නමුත් මම අද කියන දේ ප්‍රධාන මාතෘකාව සම්බන්ධ නිසා ඒ ගැන විතරක් කතා කරමු.

ඉතින් අපි නිව්ටන් ගේ නියම තුන ගැන ඉගෙන ගත්තා.... යම් කිසි වස්තුවක් මත බලයක් නොයොදනතාක් කල් එම වස්තුව එක්කෝ නිශ්චලයි, එහෙමත් නැත්නම් සරල රේඛීයව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනවා. දෙවෙනි එක සාමන්‍යයෙන් F=ma කියන සුත්‍රයෙන් දැක්වෙනවා. තුන්වෙනි එක තමයි... සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තියන බව. Every action has a reaction කියලා නිතර භාවිතා වෙන්නේ ඒක් තමයි.

ඉතින් මේවා ඉගෙනගෙන, අපි ඉගෙන ගත්තා මේ නියම හැම වෙලේම සත්‍ය නොවන බව, ඒවා උදාහරණ සහිතව ඉගෙනගත්තට දැන් නම් මතක නැහැ. ඊට පස්සේ චලිතය පිළිබඳ ඉදිරිපත් වෙලා තිබ්බ විවිධ මතවාද මේ නිව්ටන් ගේ නියම තුන ආශ්‍රයෙන් සනාථ කරන්න හෝ බිඳ දමන්න පුළුවන්ද කියලා සාකච්ඡා කලා. ඔන්න ඔතනදි තමා ප්‍රශ්නේ මතුවුනේ. මේ 'හැම වෙලාවෙම සත්‍ය නොවන නියම තුනක්' මගින් කොහොමද අනිත් මතවාද පරීක්ෂණයට භාජනය කරන්නේ කියලා. මං මේ ප්‍රශ්නේ අහපුවහම, සර් පොඩ්ඩක් නතර වුනා. පොඩි හිනාවක් දාල එහෙම කිව්වේ අදටත් මගේ හිතේ තදින් කාවැදිලා තියන අදහසක්.

ඒක කියන්න කලින්....

සමාන්‍යයෙන් එක එක මිනිස්සුන් ගේ එක එක ප්‍රකාශ අනුව ජීවත් වෙන්න බැහැ කියලා ඒවා අවඥාවෙන් බැහැර කරන්න පුරුදු වෙලා හිටියෙ මම. බොහොමයක් මිනිස්සු, තමන්ගේ ජීවිත පිළිබඳ තීරණ වලදි, ඒක එක ප්‍රසිද්ධ මිනිස්සු කරලා තියන ප්‍රකාශයන් බොහොම උජාරුවෙන් දක්වනවා. ලඟදි මට මේ ගැන මතක් උනේ බීට්ල් ගේ අකුරු කියන බ්ලොග් එකට ගියාම... එකෙ තිබ්බ ජීවිතේ ගැටගහන මන්තර කියලා පෝස්ට් එකක්. මුලින්ම ඕක බලපුවහම මට හිතුනේ විකාර කියලා... කාටද පුළුවන් සින්දු වල කියලා තියන විදිහට ජීවිතේට මූණ දෙන්න... මං ඉතින් ඕකෙ මෝඩ කමෙන්ට් එකකුත් දාල ඇවිත් ඔහේ හිටියා.

සමහර වෙලාවට අපි හඹායන දැනුම, අපි එවාගෙන් ලබාගන්න අවබෝධය, ඤාණය, යම් යම් මතවාද වෙනුවෙන් පෙනී සිටිමින් අපි කරන තර්ක විතර්ක සමහර වෙලාවට අපිටම බරක් වෙන වෙලාවල් තියනා නේද කියලා හිතුනා. මහා වාද විවාද කරමින් ලෝකයෙම තියන ප්‍රශ්න වලට විසඳුම් අපි ලඟ තියනවා වගේ තර්ක කරන අපි සමහර වෙලාවට කෑම වල රහ ගුණ අඩුයි කියලා මූණ පුළුටුකරගෙන කෑම කන, කොට්ට දෙකක්වත් නැතිව නින්ද යන්නේ නැහැ කියල චුරු චුරු ගාන වෙලාවලුත් තියනවා නේද?
ඔය දෙකෙන් එකක්වත් වැරදියි කියනවා නෙමෙයි. මතවාදයන් විදිහට අපි කාගෙත් හොඳ අදහස් තියනවා. ඒ වගේම හරිම බොළඳයි කියලා හිතෙන පුද්ගාලනුබද්ධ හැසිරීමුත් අපි අතරම තියනවා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවංකවම යමක් කරන්න කැමැත්තෙන් හිටි කීදෙනෙක් එදා වැස්ස නිසා ගෙදර ඉන්න ඇතිද? ඇත්තටම එක වෙනුවෙන් කැපවීමක් තියන අය නම් වැස්ස බලන්නේ නැතුව එනවා කියලා තර්කයක් ගේන්න පුළුවන්. එ වගේම ඔතන වැස්සේ තෙමි තෙමි හිටි අය ඔක්කොම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවබෝධයෙන් එතනට ආපු පිරිසක්ද? නමුත් මේ දොගොල්ලොම අපි මේකට එකතු කරගන්න ඕනෙ කියන අදහස වැරදි නැහැ නේද?

තිලකරත්න සර් කිව්වෙ මෙන්න මේ වගේ දෙයක්....

"එක්තරා රාමුවක් තුල යම් යම් දේවල් සත්‍යයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අපි දන්න හැම සත්‍යයක්ම හැම තැනදිම අදාල වෙනවා කියලා හිතුවොත් කිසිදෙයක් හරියට කරන්න අපිට බැරිවෙනවා. අපි දන්න හැම දේම පරම සත්‍යයයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද අපිට? ඒ වගේ සත්‍යයන් කියලා හිතන් හිටි දේවල් කොච්චරක් පස්සේ පරම සත්‍යයන් නෙවෙයි කියලා අපිට අවබෝධවෙලා ඇතිද? එහෙම කියලා අර කලින් සත්‍යය සම්පූර්ණ අසත්‍යයක් වෙනවද? පොඩි කාලේ ලෝකෙ ඉන්න හොඳම ගැහැණිය තමන්ගේ අම්මා කියලා කෙනෙක් හිතන් ඉන්නවා, ඒ කාලයෙදි ඒක පරම සත්‍යයක් වගේ දැනෙන්නේ.. නමුත් වැඩිහිටි වෙනකොට අපිට තේරෙනවා ඒක එහෙමත්ම නෙමෙයි කියලා, එ වගේම මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස්. ඒත් වැඩිහිටි වූ පසුව උනත් යම්කිසි පුද්ගලික රාමුවක් ඇතුලේ මේක බොහෝ මිනිස්සුන්ට සත්‍යයක් නේද?"

ඉතින් යම්කිසි රාමුවක් තුල...........

මේක ජීවිතේ මූණදෙන සිදුවීම් පොඩ්ඩක් හරි තේරුම් ගන්න වගේම, හොඳ නිදහසට කාරණයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක නිදහසට කාරණයක් විදිහට පාවිච්චි කරනවා නම්, ඒකත් යම්කිසි රාමුවක් තුල කලොත් තමා හොඳ......

11 comments:

  1. එන පොට හොඳයි වගේ!

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං ආයෙත් වෙලාවක එන්ඩ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. විද්‍යාව පාඩම ඉගෙන ගත්ත පන්තියට ගියා ගියාවාගේ දැනුණා, පරණ මතක ඇවිස්සුනා.

    ජීවිතේ එක එක කාලේදී අපි හිතන්නේ වෙනම විදිහට, ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට, පරිසරයෙන් පරිසරයට වගේම තවත් ගොඩක් හේතු හින්ද වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. සුනිල් එදිරිසිංහ මහත්තයගෙ "සදාකාලික නොවූ ලෝකයේ" සින්දුව අහලා අතිනේ... "එදා දුර සිට දුටුව ඔබ නොව මෙදා ලඟ සිට මා දකින්නේ - සදාකාලික නොවූ ලෝකයේ සදා කෙලෙසද පෙම් බඳින්නේ"

      ඒ වගෙම එකක් තමයි මාත් මේ කියන්න තටමන්නේ

      Delete
  4. බොහොම හොද ලිපියක්. නියමයි මචෝ.

    //ඒ වගේ සත්‍යයන් කියලා හිතන් හිටි දේවල් කොච්චරක් පස්සේ පරම සත්‍යයන් නෙවෙයි කියලා අපිට අවබෝධවෙලා ඇතිද? //

    මේක තමා මම කැමතිම හරිය. වෙනම් මාතෘකාවක් අරං ලියන්න වටින දෙයක්. මේ දවස්වල දකිනවා රැල්ලට වගේ කට්ටිය 'භෞතිකත්වය' ඉක්මවා ගිය දේවල් විහිළුවට ලක් කරනවා. ඒත් ඇත්තටම සෑම සත්‍යයක්ම අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වෙනවද?

    හැබැයි මං මේ කථා කරන්නේ මේ ඉතිහාසය, දේව විශ්වාස වගේ දේවල් විකෘති කරල ඇද බාන පට්ට පල් කෙබර ගැනනම් නෙමේ.

    ReplyDelete
    Replies
    1. විශ්වය ගැන අපි දන්නේ බොහොම ටිකයි. දන්න ටිකත් දවසෙන් දවස වෙනස් වෙනවා... තිබේ යැයි කියා ඔප්පුකිරීමට නොහැකි පමණින් ප්‍රතික්ෂේපයද, නැත යැයි ඔප්පුකිරීමට නොහැකි පමණින් පිළිගැනීමද නොකලයුතු බවයි මම හිතන්නේ. විවෘත මනසකින් හිටියාම වෙනසක් පිළිගන්න එක අමාරු නැහැ....

      Delete
    2. විවෘත මනසකින් හිටියාම වෙනසක් පිළිගන්න එක අමාරු නැහැ.... ++++

      Delete
  5. Good post. Keep it up

    ReplyDelete
  6. උඹ පින්තූරෙට මදුරු දැල් රාමු ‍තෝරා ගත්තේ ඇයි කියලා මට දැන් තමයි තේරෙන්නේ. :D

    උඹ පින්තූරෙට මදුරු දැල් රාමු ‍තෝරා ගත්තේ ඇයි කියලා මට දැන් තමයි තේරෙන්නේ. :D

    පහත සටහන සෙනෙහෙ කොළයකින් උපුටා ගන්නා ලදි:
    රත්තරං. මම ඔයා වෙත එන්න සත් සමුදුර තරණය කරන්න ලෑස්තියි. ගිරි මුදුන් තරණය කරන්න ලෑස්තියි. රකුසන්, මකරුන් එක්ක සටන් කරලා ගිණි වලලු මැද්දෙන් පැන එන්න ලෑස්තියි. මගේ ආදරය අන්න එයාකාරයි.
    ප.ලි: රත්තරං අද හවසට වැස්සේ නැත්නං මම ලයිබ්‍රරිය ගාවට එන්නං.

    ReplyDelete