Thursday, October 11, 2012

පයිනල් එක පිළිබඳ ආච්චිගේ මතය සහ මගේ වල්බූතය



හිරු කොහොම කිව්වත් හිරුට වැඩිය ක්‍රිකට් සහ දේශපාලනය ගැන දැනුම් සම්භාරයක් ඇති අපේ ආච්චී නම් කිව්වේ පැරදුනේ මහින්ද මහත්තයා ආ නිසාම බවය. ආච්චිගේ ෆේස්බුක් එකවුන්ට් එක සීයාට මලපැනපු වෙලාවක ටර්මිනේට් කල නිසාත් (මල් කේස් එකක්)  නිර්නාමික මරණ තර්ජන හමුවේ  දැන් ආච්චී "බොරු දත්සැට් එක" බ්ලොග් අඩවිය නොලියන නිසාත්, මේ දේවල් වෙන කොහෙන් හෝ අහුලාගත් අදහස් ලෙස බැහැර කරන්නට බැරිය. මහින්ද මහත්තයා මුලින්ම තිරයේ දර්ශනය වූ අවස්ථාවේ ආච්චි "තුහ්, නොදකින්.. මූණේ හැටි විතරක්" කියූ අතර...  කටින් නොකියවුනත් මටත් හිතුනේ ඒ ටිකම බව අකමැත්තෙන් වුවද ලියන්නේ ආච්චිට කරන ගෞරවයක් ලෙසින්ය.

හැම දේටම උපදේසකයන් සිටින මහින්ද මහත්තයාට, පුක් මූණක් දමාගෙන ටීවී එකේ පෙනී සිටීම සුදුසු නැතිබව කියන්නට උපදේසකයෙක් පත්කර නැති එක පිළිබඳව මට මුලු පාර්ලිමේන්තුව එක්කම මල පැන්නේය. වහාම එස්.එම්.එස් එකක් මගින් මම මේ ගැන එතුමාට දැන්වූ පසු, කැමරාවට අත වැනීමට තරම් එතුමා නිහතමානීවිය. මම ආච්චීගේ අවදානය එයට යොමු කලේ... "බලන්නකෝ ආච්චියේ, අතවනන්නේ ඔය දැන්, මුලු ලෝකෙටම පේනවනේ අනේ ඉතින්" කියමින්ය. "ඔව් ඔය වනන්නේ.... බලමුකෝ වනලා කරන හරිය.... අත වැනුවට මූනේ හිනා පොදක් තියනවද?... බලපංකෝ ගල් මූසලයා වගේ වනන හැටි... විනාසයි, දැං මොනා බලන්නද තෝත් ගිහින් බුදියගං" සාමාන්‍යයෙන් සිල්ගත් දවසට විතරක් පාවිච්චිකරන වාග් විලාසයෙන් ආච්චී කෑගසනු දුටු විට මට ඇතිවූ බය නිසාම මම ගිහින් බුදියගතිමි.

උදේම ආච්චීගේ හිනාකට දුටුවිට මට සිතුනේ අපි මැච් එක දිනා ඇතිබවය. මම දෙවරක් නොසිතාම මහින්ද මහත්තයා ඇමතීමි. "සර්, ඔන්න මේ සැරේ ඔක්කොම මිත්‍යා විශ්වාසකරයොන්ගේ කටවල් වැහෙයි, විරුද්ධ පක්සේ එවුන්ටත් දැන් ඉතින් කියන්න දෙයක් නෑනේ.... මැච් එක දිනුවේ සර් අතවනපු නිසා බව දැන් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්නවනේ... සර්ට දැන් හරියට ක්‍රීඩා උස්සව වලට ලෝකෙ වටෙන්ම ආරාදනා ලැබෙයි" මම කියාගෙන ගියේ.. මොකක් හරි උපදේසක තනතුරක් ලැබෙනවානම් ඒ සඳහා ඇමක් දැමිය යුතු හොඳම වෙලාව මෙය යැයි හිතුනු බැවිනි. මහින්ද මහත්තයා කියූ දේවල් මම මෙතන සඳහන් නොකරන්නේ සියලුම රාජතාන්ත්‍රික තොරතුරු ප්‍රසිද්ධියේ පැවසීම බටහිර කුමණ්ත්‍රණකරුවන්ට වාසිදායක විය හැකි බැවිනි. එතුමා කරුණාවෙන් කරුණු පහදාදුන් බව කීම ප්‍රමාණවත්ය.

මේ දවස් වල හැමෝම මේ ගැන ලියන නිසා, මාත් මේ ගැන ලිවීම අනවශ්‍ය බව හිතුනත්... මහින්ද මහත්තයාට කතා කිරීමෙන් පසුව මා නැවත පියවි සිහියට පැමිණ අන්දමන්ද වී සිටින අවස්තාවේ කලින් දවසේ රෑ සිදුවූ දෙයක් මගේ මතකයට නැගුණි. මේජර්තුමාට, දුමින්ද අයියාට සිදු වුනා වගේ, මටත් මේක හරියටම මෙහෙම උනාද කියා තහවුරු කල හැකි ක්‍රමයක් නැත. එක්කෝ මට කතා කලේ නාථ දෙයියෝ නොවේය. නැත්නම්, මට කිසිවක් මතක නැත. ඒත් මෙන්න මේ වගේ වල්බූතයක් මගේ හිතට ආවේ කොහොමද කියා ආච්චීට වත් පැහැදිලි කල නොහැකි විය.

--------

නාථ දෙවියෝ පැමින මා අමතයි. "දරුව... දරුව". මම ඇහැරෙන පාටක්වත් නැත.... "යකෝ නැගිටපිය පරයා, තොගෙ අම්මට...." ඉතුරු ටික කියන්න කලින් මම දඩස් ගා ඇහැරුනෙමි. "සර්?" මහත්තුරුන්ට, දෙවියන්ට මෙන් සැලකීමට මම පුරුදු වී සිටියත් ඇත්තටම දෙවියන්ට කොහොම කතා කලයුතුදැයි මම දැන සිටියේ නැත. නමුත් දෙවියෝ අමනාපයක් නොපෙන්වූ නිස මම දිගටම 'සර්' කියා ඇමතීමි. "සර්, මොකද මේ අවේලාවේ?..." බැරෑරුම් මුහුණක් මවාගෙන සිටි දෙවියෝ කලකිරීමෙන් මෙන් මෙසේ කීය. "ටීම් එකෙ කැපිල්ලක් යනවා, අපේ කොල්ලෙකුට". අපිට වෙන ටීම් එකක් නැති නිසා මේ කතාකරන්නේ ක්‍රිකට් ටීම් එක ගැන බව මට වැටහුනි. ඒත් මගේ මුහුණේ අපබ්‍රංසය දුටු දෙවියෝම සිද්ධිය පැහැදිලි කලෝය.

"කීර්ති බංඩාර කොලුවව කපලා..." දෙවියෝ කණස්සල්ලෙන් කියති. "ඒ වෙනුවට අරං තියෙන්නේ අර ඇට පැහිලාවත් නැති මරක්කල කොලුවා. කීර්ති කොලුවා, අපේ ජාතිය විනාස කරන්න බලං ඉන්න 'අරුන්ට' සෙමි ෆයිනල් එකේ ඇඹරෙන්න පන්දු දාපු හින්දා අපේම දේසද්‍රෝහියෝ අටවපු කුමන්ත්‍රණයක් මේක. ඕකට සම්බන්ද හැම එකාටම මම දඬුවම් කොරනවා... කොච්චර ලොක්කෙක් උනත් මම අරින්නේ නෑ... අරිනවා හැම එකාටම....ලොක්කට උනත් එච්චරයි... බලාපියව් මම කොරන දේ...." ගිගිරූ දෙවියෝ අන්තරස්දාන වූහ.

---------

නාථ දෙවියෝ, මාලිංගගෙන් පටං අරන්, මහේලගෙන් නොනැවතී මහින්ද මහත්තයාවත් පේලියට තියා ඇර ඇති බව දැනගත් පසුව, මම මේ විස්තරය ආච්චීට කියාසිටියේ අපි පැරදුනේ මහින්ද මහත්තයා නිසා නොවන බව ඇයට පහදාදෙන්නටය. එතුමාද මේ සිද්ධියේදී අසරණයෙකු බව පෙන්වීමටය. ඒ වගේම මේ කතාව වල්බූත මට්ටමේ පැවතුනත්, තමන්ගේ මතයේම එල්ලී නොසිට යමක් කමක් නුවනින් විමසාබලා සත්‍ය බව වැටහේ නම් පිලිගැනීම තරම් නිහතමානී බවක් ආච්චි වෙත ඇති බව දන්නා නිසාය. "ඈහ් බොල කොල්ලෝ... තෝත් මහ මිත්‍යා දෘස්ටිකයෙක් වෙලානෙ... දෙයියො කොහොමද බොල ක්‍රිකට් මැච් දිනවන්නෙයි පරාද කරවන්නෙයි?" කියා ආච්චී තර්කයක් ගෙනා බැවින් මට අකුලාගන්නට සිදුවුනි. දැන් ඉතින් මෙය විසඳා ගැනීමට මට ඉතිරිව තිබූ එකම මාර්ගය එදා රැයේ සිදුවූවා යැයි මට හිතෙන වල්බූතයේ අවසාන ජවනිකාවය.

---------

දෙවියන්ගේ කෑ ගැසීමට බය වූ මට, මා ලඟ නිදා සිටි බිරිඳගේ ඕනෑ නැති තැනක් නොදැනුවත්වම ඇල්ලුනි. බිරිඳ නිදිමතේම මා දෙසට හැරී තවත් මට තුරුළු විය. බයටම මමත් බිරිඳට තුරුළු වී නිදාගත්තෙමි. ටික වේලාවකට පසුව මාව අහකට තල්ලුකර දැමූ බවක් හැඟුනත් වල්බූතයක් ඇතුලේ නිදිමතෙන් දැනුන දෙයක් මනස්ගාතයක් ලෙස නොසලකා හැරීමට පුලුවන්ය.

---------

මේ ගැන බිරිඳගෙන් ඇසීම සදාචාරයට පටහැනි වුවත්, මගේ හිතේ පැටලිල්ල ලිහා ගැනීමට මේ ගැන බිරිඳගෙන් ඇසීමට තීරණය කලෙමි. ඊයේ රාත්‍රියේ බිරිඳ ඇඳට පැමිණි විට මම ලැජ්ජවෙන් ඇඹරි ඇඹරී මෙසේ ඇසුවෙමි. "ෆයිනල් එක දවසේ රෑ මං ඔයාගේ ඕනෙ නැති තැනක් ඇල්ලුවද..?". එහි ඇති අසබ්ය බව අඩු කිරීමට මම තව කැල්ලක් එකතු කලෙමි... "නිකං හීනෙං වගේ?". බිරිඳ මා දෙස දත්මිටිකමින් බලාසිටි ආකාරය දුටු විට මට හිතුනේ නලිං මහත්තයා මාර්ගයෙන් කෙලින්ම මේ ගැන දෙයියන්ගෙන්ම ඇහුවා නම් ඉවරයි කියාය. "පයිනල්.... මගුල පයිනල්... උලව් ක්‍රිකට් රෙද්දක් පටන් ගත්ත දවසේ ඉඳල බැලුවද තමන්ට ගෑනියෙක් ඉන්නවද කියලා... පිට්ටනියේ මිනිස්සුත් ගෙදර ගියාම තමා තමුසේ ටී.වී එක වහලා ඇඳට එන්නේ... ඒ ඇවිල්ලත් නිකං එක දවසකට ආවද මා ලඟට... මැච් නැති දවසටත් තමුසේ කොම්පියුටරේ බදාගෙන කුරුටු ගගා හිටියා මිසක් ආවද නිකමට වත් මා ලඟට. එනවා මෙතන හීනෙං ඇල්ලුවද අහන්න... හීනෙං තමා අල්ලන්න ඇත්තේ... මොකද පහුගිය මාසෙට නම් තමුසෙට මං ඉන්නවද කියලා වගේ වගක් තිබ්බේ නෑ... දැං ඔය මගුල ඉවරවෙලා දවස් කීයක්ද... මොනාද කාපු රිලවා වගේ තමුසේ තාම ඉන්නේ හරියට.... එන්න එපා මා ලඟට එහෙම... ගිහින් බුදියගන්නවා තමුසෙගෙ මහ ලොකු මහේල හරි සංගා හරි එක්ක..."

නාථ දෙවියෝ කියූ පරිදිම, උන්නාන්සේ මට ද ඇර ඇති බව එක් වරටම සිතුනත්... බිරිඳ ලබා දුන් සාක්කි මත, මා ඇගේ ඕනෑ නැති තැනක් තියා ඕනෙම තැන්වත් පහුගිය මාසයටම අල්ලා නැතිබව සාධාරණ සැකයකින් තොරවම ඔප්පුවෙන්නේය. එසේ නම් නාථ දෙවියෝ පැමිණ නැත.... ඒ මගේ හිතේ ඇඳුණු වල් බූතයක් පමණක් විය යුතුයි. එක අතකින්, මහාචාර්ය පට්ටමක් තියා, ඕ ලෙවල් විද්‍යාව දෙපාරක්ම පේල් වූ මට නාථ දෙවියෝ කතාකලා යැයි සිතීමත් විහිළුවකි. එසේම උන්නාන්සේට මේ විජාතික ක්‍රීඩාවක් වෙන ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් තිබෙන්නටත් බැරිය. එසේ නම් ෆයිනල් එක පැරද්දුවේ නාථ දෙවියන් වෙන්නට බැරිය. ඉතිං, බුද්ධිමත් පුරවැසියෙකු ලෙස දැන් මා හට ඉතිරිව තිබෙන්නේ ආච්චිගේ මතය හරි බව පිළිගැනීම නොවේද?

35 comments:

  1. එයාව දිරවන්නේ නැති ආච්චි කෙනෙක් ගැන ඇහුවමයි ඔය.

    ReplyDelete
    Replies
    1. මෙයාගේ සාටකේටවත්, චන්ද්‍රිකා නෝනගේ හිනාවටවත් නම්ම ගන්න බැරි වෙච්චි ගෑනියෙක් අපේ ආච්චි.. ඕං එහෙනං...

      Delete
  2. හපොයි... මෙන්න මෙයා මාවත් අල්ලලා වටේම ඉන්න සෙට් එකම අල්ලලා ගානට එක‌ පෝස්ට් එකෙන්ම වැඩේ දීලා..... අඩු ගානේ අර අහිංසක ආච්චිව වත් අතෑරලා නෑ..... හි හි....

    හිනා වෙලා කදුළුත් ආවා අප්පා... හි හි ඇත්තමයි..... ( මොලේ කචල් වෙලා ඉන්නකොට දුන්න හොඳම බේතක් ඔන්න හොඳේ....)

    හැබෑට ඉතිං ආච්චි කියනවා නම් පිළිගන්නම වෙනවා නොවැ..... හි හි.... නාථ දෙයියන්ට වත් බැරි වෙච්ච කොට ආච්චිට ඒත්තු ගන්නන්න මේ සොකඩ මං මොනා කරන්නද....

    ඕන්න දෝත් මුදුන් තියලා වැදලා පිලිගත්තා කියන්නකෝ ආච්චිට, මාත් ආච්චිගේ මතය....

    තිසරට කම්මැලි නැත්තම් මෙන්න මේ ටිකත් කියවන්නකෝ වෙලාවක.... ඔය වයිෆ් කියපු ටිකට මාත් ලිව්වා හස්බන්ඩ් කියන ටික... හි හි...

    මෙන්න ලින්ක් එක

    ලින්ක් එක හරි ගියේ නැත්තම් මෙන්න URL එක
    http://hirunethihorawa.blogspot.com/2012/08/1.html

    ReplyDelete
    Replies
    1. කොටස් තුනම කියවලයි නතර උනේ ඕං.... අන්තිම එකට දාන්න උත්තරයක් ලියනව... උපදෙස්දීල තියන විදිහටම, නෝනගේ අදහසුත් අරගෙනම...

      Delete
  3. Replies
    1. මේ පැත්තේ ඇවිත් ගියාට ස්තූතියි....

      Delete
  4. හිනා හිනා... ආච්චි නං කියලා වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. සිරාවට අපේ ආච්චි නම් මාර බඩුව...

      Delete
  5. තිසර සිංඩි දෙක තුනක් පැත්තේ ගිහින් රෙජිස්ටර් වුනොත් නාකද? මොකෝ මේ වගේ ලිපියක් ගොඩක් කට්ටිය නොබැලුවොත් අපරාධයක්.

    උඹ කැමති උනත් අකමැති උනත්, මගේ බ්ලොග් එකේනම් මේකට ලින්කුවක් දානවා හොදේ...

    (බැරිවෙලාවත් නාථ දෙයියෝ ආයිත් ආවොත් අහපං අර චිත්‍රපටිවංශගේ ඊළග...එක්කො ඕනෙ නෑ)

    ReplyDelete
    Replies
    1. ලින්කුවක් දැමීම ගැන නම් කිසීම අමනාපයක් නැත.... මෙහෙම දිරිමත් පාරක් ලැබෙනකොට තව තව ලියන්නට සිතේ....

      මම 'අඹගහයට' කියන එකේ නම් දැම්මා... අනිත් ඒවා මොනවද? මාතලන් ගොයියටත් එකක් තියනව නේද? කියලා බලන්නම්....

      කිව්වත් වගේ අහන්න වටිනම ප්‍රශ්නයක්... හැබැයි එදයිං පස්සෙ ආවෙම නෑ. ඊලඟ ලෝක කුසලානෙ වෙනකං ඉන්න වෙයිද දන්නේ නෑ..

      Delete
    2. මාතලන්ගේ සින්ඩිය

      කොත්තු

      ලාංකීය

      අපි අපිට

      දැනට මටනම් වැඩිම ට්‍රැෆික් එන්නේ ලාංකීය එකෙන්.





      Delete
  6. අන්න ආච්චිලා... හෙහ් හෙහ් :)

    ආච්චිට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආච්චි නම් අකමැති වෙන එකක් නෑ රාජ සම්පත් වලට....

      Delete
  7. පට්ට පහර මචන්, හිනා කාලා බඩ රිදෙනවා. සිරාවටම මේවගේ ලිපි හැංගිලා තියන එක නම් අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචන්... මට තාම වැඩි අවබෝධයක් නෑ බං මේවා ගැන... හොයලා බලලා ප්‍රමෝට් කරන්න ඕනේ... මොනවද අනිත් සින්ඩි?

      Delete
  8. නාථ දෙවියෝ,,, හී හී ..නියමයි ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... පහු ගිය කාලේ මහාචාර්යවරුන්ටත් උගන්වපු දෙවි කෙනෙක් නොවැ..

      Delete
  9. හික්ස්....අපොයි නියමයි වාග් විලාසයනම්...හිනා වුණා ඇති තරම්....විස්සයි විස්ස ගැන බොහෝ ලිපි පලවුණත් හිනාවෙන්න මේ තරම් ලස්සන ලිපියක් පල වුනේම නෑ....

    පෝස්ට් එකේ අකුරු සෙන්ටර් වුණානම් තවත් හැඩයි.තැන තැන ජේද පිහිටපු නිසාත් බ්ලොග් ලෝකයට අළුත් නිසාත් උපදෙසක් විදියට කිව්වෙ...සෙන්ටර් කරන්න දන්නෙ නැත්නම් අහන්න..

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිත්තමී දිරිමත් කලාට... ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් මම ගිහින් බැලුවා. ඔව් බ්ලොග් කලාව ගැන නම් මම බොහොම ටිකයි දන්නේ... ඔය සෙන්ටර් කිරිල්ල ගැන හොයලා බලලා උදව්වක් ඔනේ උනොත් අහන්නම්කෝ... බොහෝමත්ම සතුටුයි උදව් කරන්න ඉදිරිපත්වීම ගැන..

      Delete
  10. හා හා බලාගෙන දෙයියෝ කෝපවෙයි ...

    ReplyDelete
    Replies
    1. දෙවියෝ බ්ලොග් කියවන්නේ නෑ කියලා මං හිතන් හිටියේ... දෙවියොත් දැන් තාක්ෂණය දියුණුකරගෙන වගේ එහෙනං... පරිස්සම් වෙන්න ඕනේ..

      Delete
  11. අදනේමේ පැත්තේ ආවේ...නියම ලියවිල්ල ...නෝනගේ කටින් ගලාහලුන වචන ටිකනම් හොදට හිතට ඇල්ලුවා අෆ්ෆා....ඔය වගේම සෙට් එකක් වෙනත් විදිහකට මටත් ඇහෙනවා ලංකාවට ගිය ටිකට...නියම පොස්ට් එක

    ReplyDelete
    Replies
    1. නෝනගේ වචන සෙට් එක, නෝනට නොපෙනෙන්න තියං ඉන්න එක තමයි අමාරු... මේක දැක්කොත් මට තව මාසයක් තනියම නිදාගන්න වෙනවා.

      Delete
  12. අද තමයි මේ බ්ලොග ගැන දැන ගත්තෙ. ලියවිල්ලනම් අල්ලලා ගියා

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් පටන් ගත්තට මොකද මගේ වැඩි කැමැත්ත, අනිත් අයගේ ඒව කියවලා කොමෙන්ට් ලියන්න... පුලු පුලුවන් වෙලාවට ලියන්න හිතන් ඉන්නවා... අයෙත් එන්නකෝ මේ පැත්තේ..

      Delete
  13. සුපිරිම තමා මෙතැන.
    අවංකවම කිව්වොත් "Lost" TV Series එක කොපි කරන්න හදපු ෆිල්ම් එකක්. මට නම් එච්චරයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද... මාරුවෙලාවත්ද?

      Delete
  14. පට්ට නිර්මාණශීලී පොස්ටුවක්. මේක දැක්ක නම් දෙයියන්ටත් හිනා යනවා...:)
    හිරුවගේ ලින්ක් එකකින් මේ පැත්තට කඩා පාත් උනේ.. ජය!!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියන්න බෑ.. හිරුවා මේක එල්ලාගෙන තාමත් මට මාර සප් එකක් දෙනවා.

      Delete
  15. Replies
    1. බොහොම ස්තූතියි සංජය.

      Delete
  16. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
    ජනතාව අන්දන උන්ගේ රඟහලත් අපි හඳුනා ගනිමු!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
    Replies
    1. ඔබගේ බ්ලොගය ඉතාම අගනේය. එහි පෝස්ට් සඳහා ඔබගේ කැපවීම කියවන අපට පැහැදිලිව දැකගත හැකිය. මේ පැත්තේ පැමිණියාට ස්තූතියි. ඔබටත් සාර්ථක නව වසරක් වේවා කියලා පතනවා.

      Delete
  17. මෙච්චර රහට ලියන උඹනේ දැන් සද්දෙ වහලා නිකං ඉන්නේ. ආයේ ලියාපං බං.

    ReplyDelete