Friday, December 14, 2012

ජාතිවාදීන් සහ දේශද්‍රෝහීන්....


තණකොට කන හරක් සහ බත් කන හරක් වශයෙන් බෙදීමක් පසුගිය කාලයේදී බ්ලොග් අවකාශයෙන් මම අහුලා ගතිමි. මෙහිදී බත් කරන හරක් වශයෙන් අර්ථ දැක්වුනේ රටේ මහ ජනතාවය. මේ කියමන සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් මගේ එකඟතාවයක් ඇත. එම නිසා හරකෙක් වශයෙන් මට කිරීමට හැකි වැදගත්ම දේ (තප්පුලෑම නොවේ) කිරීමට මම සුදානම් වෙමි. ඒ නම් 'වමාරා කෑමකට' ය. පැත්තකට වී නිවී හැනහිල්ලේ වමාරා කෑමෙන්, කලින් හදිසියේ ගිල දැමූ දෑ, හෙමින් හෙමින් හපා කෑමෙන් අලුත් රසයක් දැනීමට ඉඩ ඇති අතර, නොදැනුවත්වම ගිලී ඇති කුණු රොඩු 'තුහ්' කියා ඉවත දැමිය හැකිය.

සිංහල ජාතිය සහ බෞද්ධ ආගම බේරාගත යුතුය. මෙහෙම කියන්නේ දේශප්‍රේමීන්, හෙළයන්, සැබෑ බෞද්ධයන් වන අතර, මේ දෙක බේරාගත යුතු වන්නේ ප්‍රධාන වශයෙන් ඉස්ලාම් භක්තියන් වන මුස්ලිම් ජාතියෙන්ය. ඒක එහෙම වන විට, ඒවාට විරුද්ධව කතා කරන සිංහල බෞද්ධ පිරිසක්ද සිටී. ඔවුන්ට අනුව ඉහත කී පිරිස ජාතිවාදී වේ. එනම්, ඔවුන් අනුගමනය කරන ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය, රටේ ජාතිවාදය ව්‍යාප්තවීම සහ ඒ මගින් බිහි කරන මහා ව්‍යාසනයකට පාර කැපීම බවයි. මුලින් පිරිසට අනුව දෙවැනි කොටස, දේශද්‍රෝහී නැතිනම් නපුංසක  වේ. එනම් තමා අයත් ජාතිය සහ ආගම ගැන කිසි කැක්කුමක් නැති, යම් යම් දේට මුලා වී හෝ තමන්ට ලැබෙන වාසි නිසා තමන්ගේම එවුන්ට වල කපන පිරිසක් බවයි.

මම කියන්නට යන දෑ අදාල වන්නේ මේ කණ්ඩායම් දෙක සම්බන්ධයෙන් බැවින්, මම පලමු කණ්ඩායමට 'ජාතිවාදී' කණ්ඩායම සහ දෙවන කණ්ඩායමට 'දේශද්‍රෝහී' කණ්ඩායම යැයි කියමි. ඒ මෙම කණ්ඩායම් ඔවුනොවුන්ට අලවා ඇති ලේබල් විනා, ලිපිය ලියන මා  විසින් එම වචනාර්ථයෙන් කරන හැඳින්වීමක් ලෙස නොසැලකුව මැනවි.

'දේශද්‍රෝහී' කණ්ඩායම, 'ජාතිවාදී' කණ්ඩායම සම්බන්ධයෙන් නගන ප්‍රධාන තර්කයක් නම්, බෞද්ධාගම රැක ගැනීමට යැයි කියමින් ඔවුන් බෞද්ධාගමේ හරයන් අමු අමුවේ විනාශ කරමින් සිටින බවයි. කොටින්ම වෛරය වෛරයෙන් නොසංසිඳේ යැයි උගන්වන බුදුදහම රැකගැනීමට කියා වෛරයම ව්‍යාප්ත කරමින් සිටී යන්නය.

භාෂාව මූලික කරගෙන අපි සිංහල ජාතිය වන අතර, අදහන ආගම බුදුදහම බැවින් බෞද්ධයෝ වෙමු. නමුත් කෙනෙක් 'මම සිංහල බෞද්ධ' යැයි කීම ඉහත කී ආකාරයට ලඝු කලහැකි දෙයක් නොවේ. ජාතිය සහ ආගම (තවත් දෑ) ආශ්‍රයෙන් සංස්කෘතියක් බිහිවන අතර, අපි සිංහල බෞද්ධ යැයි කීමේ අර්ථය වඩාත්ම සමීප වන්නේ අපි මේ සංස්කෘතියට අයිති බව කීමට යැයි මගේ හැඟීමය.

සංස්කෘතිය යන්නට විවිධ නිර්වචන ඇතත්, සංස්කෘතියක් යනු අප හැදෙන වැඩෙන පරිසරය තුල වූ යම්කිසි හර පද්ධතියක් ලෙස සරලව හැඳින්විය හැකිය. ඉතින් අප හැදුනු වැඩුනු සංස්කෘතියට අපගේ ඇති සම්බන්ධතාවය අවිඥාණිකව අප තුලම වෙයි. මේ සංස්කෘතිය වෙනස් වූ විට, එක වරම අපට එය දරා ගත නොහැකිවන්නේ අප තුල වූ එම බැඳීම නිසාය. පිටරටක ජීවත්වීමට යන කෙනෙකුට ඇතිවන 'හෝම් සික්' යනුවෙන් හඳුන්වන්නේ එම හුරු පුරුදු වටාපිටාවෙන් ඈත්වීමේදී සිතට දැනෙන අපහසුතාවයයි.

සංස්කෘතිය යනු ආගම සහ ජාතිය පමණක්ම නොවේ, නමුත් එහි හඳුනාගත හැකි ලක්ෂණ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ බොහෝ විට ආගම, භාෂාව සහ ජාතිය වේ.

ඒ අනුව දැන් ඇතිවී තිබෙන තත්වය, අන්‍ය ආගමක්, ජාතියක් ඔළු ගෙඩි ගණනින්ද, බල පරාක්‍රමයෙන්ද රට තුල සීග්‍රයෙන්, බලෙන් ව්‍යාප්ත කරවීම නිසා (එසේ කිරීමට සංවිධානාත්මක උත්සහයක් ඇති බව ද පෙනෙන්නට ඇති හෙයින්) තම සංස්කෘතියට එල්ලවන බලපෑමෙන් එය මුදා ගැනීමට ආගම සහ ජාතිය සංඛේත ලෙස භාවිතා කරමින්, ගෙන යන වැඩපිළිවෙලක් ලෙස මම දකිමි.

බුදු දහම බේරා ගැනීම වෙනුවෙන් සටන් පා‍ඨ කියන්නවුන් වෙතින්, බුදු දහමේ හරයන් බලාපොරොත්තු විය නොහැක්කේ මේ නිසාය. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන් වෙතින් ජාතිය, භාෂාව ගැන විශේෂ දැනුමක් අවබෝධයක් බලාපොරොත්තු විය නොහැක්කේ මේ නිසාය. ජාතිය සහ ආගම නාමයෙන් කරලියට පැමිණියත් ඔවුන් පෙනී සිටින්නේ ඒවා ආශ්‍රයෙන් ගොඩනැගුණු තමා අයිතිවන සංස්කෘතිය වෙනුවෙනි. ඊටත් වඩා සරලව කියන්නේ නම්, එය තමන්ට හුරු පුරුදු ජීවන රටාව වෙත එල්ලවන බලහත්කාර කමක් ලෙස ඔවුන්ට පෙනෙන බැවිනි.

කුමක් ඇසුරින් ගොඩ නැගුනද, මිනිසුන්ට තමන්ගේ ජීවත්වීමේ ක්‍රමය (way of living) වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇත. ඒ අර්ථයෙන් ජන කොට්ටාශයක් වශයෙන් මුස්ලිම් මිනිසුන්ට, සිංහල බෞද්ධයන්ගෙන් (සහ අන් ජාතීන්ගෙන් ) එල්ල වන විරෝධය අසාධාරණ නොවන බව මට සිතේ. ඉස්ලාම් ආගමේ ඇති ඉගැන්වීම් (නැතිනම් ඒවා අද අර්ථදක්වා ඇති ආකාරය ) සහජීවනය යන සංකල්පය සමග නොපෑහේ. ඉස්ලාම් ආගම මගින් ඇතිකරන දැඩි ආගම් භක්තිය, විරුද්ධ මත කෙරෙහි මැදහත් සිතින් බැලීම අපහසු කරවයි. තමන් ජීවත්වන ක්‍රමය, අන් ජාතීන් ජීවත්වන ක්‍රම අභිබවා ඉහලින් තැබීමට මුස්ලිම් නායකයන් ක්‍රියා කරන අයුරු පැහැදිලිව දැකගත හැකිය. බහුතරය මුස්ලිම් නොවන පසුබිමක, මුස්ලිම් ජනතාවගේ මෙම ස්වභාවය එම සමාජය තුල ප්‍රශ්න ඇති කිරීමට දායක වේ.

බළලා මල්ලෙන් පනින්නට පෙර....

සාමාන්‍ය වර්ග කිරීමට අනුව මමත් පහසුවෙන්ම අයිතිවන්නේ දෙවෙනි කොටසටය, එනම් 'දේශද්‍රෝහී' ගොඩටය. නමුත් වමාරා කෑමේදී, මා වැටෙන ගොඩ මම මොහොතකට අමතක කරමි. අඩුම ගණනේ එසේ කිරීමට උත්සහ දරමි.

දැන් මෙම 'දේශද්‍රෝහීන්' කල යුත්තේ කුමක්ද?

මම ඉහත පැහැදිලි කල කාරණය නිසා, 'ජාතිවාදී' කණ්ඩායම හැසිරෙන්නේ ආගමේ හරයන්ට අනුව නොවේ යැයි තවදුරටත් තර්ක කිරීමෙන් පලක් නැත. මේ පිරිසට කල හැකි වැදගත්ම දේ වන්නේ, ආගම සහ ජාතිය, මේ විරෝධයන්ගෙන් ඉවත් කිරීමට දායක වීමයි. නැතහොත් ආගම ජාතිය මේ තුල උළුප්පා නොදැක්වීමයි. මේ මගින් සිද්ධවන්නේ එකම සිරුරකට, වෙනස් සළුපිළි ඇන්දවීම ලෙස බැලු බැල්මට පෙනෙනු ඇත.

මේ අපබ්‍රංශය මෙසේ තේරුම් ගනිමු.

ආගම, සහ ජාතිය යන සංකල්ප මතින් නිර්මාණය වන ගැටුමක් මහා ව්‍යාසනකාරී වන්නේය. ආගමක්, ජාතියක් යනු බොහෝ විට මිනිසාට තාර්කිකව ලැබුණු දෙයක් නොව ඔහු ලද යම් උරුමයකි. මේවා තාර්කික ප්‍රශ්නාර්ථයට ලක් කිරීමක් කල නොහැක. එනම්, කෙනෙක් තමන්ගේ ආගම ජාතිය අනුව යුද්ධයකට එලඹේ නම්, එය තාර්කික අවසානයක් කරා ගෙන යා නොහැකිය. එය පරම්පරා ගණනකට ඇදෙන මහා විනාශයක් පමණකි. මේ රටේ දෙමළ ජනතාවට සාධාරණ ප්‍රශ්නයක් ඇති බව මම සිතමි. නමුත් වසර 30 සටන්කොට ඔවුන් කිසියම් ජයග්‍රහණයක් ලබා තිබේද? වසර 30 පෙර ඇරඹි සටන අවසන් වන විට, එය ආරම්භ වීමට බලපෑ හේතු නියෝජනය කරන ලක්ෂණ එහි තිබුණිද?

එනයින්, මේ ඇතිවීමට ඉඩ ඇති ගැටුමෙන් ආගම සහ ජාතිය ඉවත් කර ගැනීම අතිශය වැදගත් වේ. ඒ මහා ව්‍යාසනයක් වලක්වා ගැනීමට පමණක්ම නොව ඇත්තෙන්ම මා ඉහත දැක් වූ පරිදි ආගම හෝ ජාතියට සෘජුවම සම්බන්ධ ප්‍රශ්නයක් නොවන නිසාය.

විරෝධතාවය එල්ල විය යුත්තේ, ආගම සහ ජාතියේ නාමයෙන් සිදුවන සමාජ පීඩාවන්ටය. රටේ ආරක්ෂාව උදෙසා බෝධි පූජාවට ගෙනයන කිරි කළයකටද කූරක් ඔබා පරීක්ෂා කල කාලයක් විය. ඒ යමෙකුගේ සැදැහැවත් බවට වඩා තවෙකෙකුගේ ජීවිතය වටිනා බැවිනි. මුස්ලිම් ජාතිකයන් සමහරක් අනුගමනය කරන සම්පූර්ණ මුහුණු ආවරණය කිරීම ප්‍රසිද්ධ ස්ථාන වල සිදු කිරීම තහනම් කල යුතුය. තම ආගමට සුවිශේෂිත හලාල් වැනි සංකල්ප පොදු සමාජය මත පැටවීම තහනම් කල යුතුය. ඉස්ලාම් නීතියට අනුව විවාහ සිදු කිරීම, ඉස්ලාම් නීති අනුව බැංකු ණය දීම් සිදු කිරීම තහනම් කල යුතුය. එමෙන්ම, සිංහල ජාතිය නැතිවේ යැ‍යි බියෙන් වඳ සැත්කම්, ගබ්සා කිරීමට ඉඩ ලබා නොදීමට ද විරුද්ධ විය යුතුය.

අපගේ විරෝධතාවය එල්ල විය යුත්තේ, ආගම හෝ ජාතිය මුල් කරගෙන නොව, අප ජීවත්වන ක්‍රමය මුල්කරගෙන බව මා කියන්නට තතනන දේ තුල ඇති සරල තේරුමයි. ජීවත්වන ක්‍රමය යනු නියතයක් නොවුනත්, එය රැඩිකල්ව වෙනස්වන දෙයක් ද නොවේ. කාලයට සාපේක්ෂ ලෙස එය වෙනස්වන අතර, අප විරුද්ධවිය යුත්තේ කෘතිම සහ රැඩිකල් ලෙස එය වෙනස් කිරීමට උත්සහ දැරීමට එරෙහිවය.

මිනිසා යනු තනියෙන් ජීවත්විය හැකි සත්ව කොට්ටාශයක් නොවේ. එම නිසා ඔවුහු  රංචු ගැසෙති. ඉන්පසු දකින්නට ලැබෙන්නේ එකතුවීම සහ වෙන්වීම අතර අපූරු චිත්‍රයකි. රටවල් වශයෙන් එකතුවන අතර ප්‍රාදේශීය වශයෙන් බෙදේ, ආගම අනුව එකතුවන අතර නිකාය අනුව බෙදේ. භාෂාව අනුව එකතුවන අතර උච්චාරණය අනුව බෙදේ. තමා තනි නොවන බව පෙන්වන අතරම තමන් අනන්‍යය බවද පෙන්වීමේ ක්‍රමයක් බව මගේ තේරුම් ගැනීමයි. මේ අයිති වීම සහ අනන්‍යතාව ප්‍රකාශ කිරීම ඉස්පසු සාපේක්ෂව සිදුවේ. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟයකදී 'අපි ශ්‍රී ලාංකික' වන පිරිස, උනුන් අතර සිදුවන විවාහයකදී, ජාතිය, ආගම, කුලමල, සමාජ තත්වය යන සියලු දේම සොයා බලයි. මෙවැනි බෙදීම්, එකතුවීම් ඉවසා දරා ගත හැකි තරමට අපේ සංස්කෘතිය වර්ණවත් වන අතර වර්ණ අතර පැහැදිලි වෙනසක් දැකීම ද අපහසු කරවයි.

මේ බෙදීම් වලට නිසි පිළිවෙල අනුව වටිනාකම් ලබාදීමත් සිදුවිය යුතු තව දෙයකි. ආගම යන්න නිකායට වඩා ද, ජාතිය යනු ආගමට වඩා ද, රට යනු ජාතියට වඩා ද, මනුෂ්‍යත්වය යනු ඒ හැම දේටම ඉහලින් තිබෙන්නක් බවද තේරුම් ගත යුතුය. ශ්‍රී ලාංකිකත්වයට හිමි සැබෑ වටිනාකම අපේ රටේ ලබාදී නැති බව මගේ අදහසයි.

වාර්ගික යුද්ධයකින් වසර තිහකට වැඩි කලක් බැට කෑ අප, යුද්ධය අවසන් වී වසර තුනක් වැනි කෙටි කලක් ඇතුලත නැවත අර අඳිමින් සිටින්නේ තවත් එවැනි මහා ව්‍යසනයකට බව සිතේ. මේ ප්‍රශ්නය ගැන කතාකරන බොහොම ස්ථාන, තවමත් ආරම්භ නොවූ මේ යුද්ධය වචන මට්ටමෙන් පැවැත්වෙන යුද්ධ භූමි මෙනි. මෙය කිසිකෙනෙකුට පහර දීමට, හෙලා දැකීමට ලියවුනක් හෝ, බ්ලොග් තුල වචන යුද්ධ සිදු කරමින්, එකිනෙකාට පහර ගසමින් සතුටු වීමට ඉඩ ලබාදීමට ලියවුනක් නොවේ. තමන් විශ්වාස කරන සත්‍ය මතම සදාකාලිකව එල්බ නොඉඳ ඒවා යම් කිසි ස්වයං විවේචනයකට ලක් කිරීමට (වමාරා කෑමකට ) බඳුන් කරන ලෙස ඉල්ලා සිටිමින්, එවැනි ස්වයං විවේචනයක් කිරීමෙන් පසු මට හිතෙන හැටි ප්‍රකාශ කිරීමට ලියූ ලිපියක් බව සලකන්න.

Thursday, December 6, 2012

ඉතින් මම ආගන්තුකයෙක් නොවෙමි....



මෙතෙක් වේලා වැසී තිබුණු රිය කවුළු, මම විවෘත කරමි. ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයෙන්, දුමෙන් හා අව් රශ්මියෙන් ද මම දැන් මිදී සිටිමි. තාර නොදැමූ වැලි පාර ගැන මට අසාධාරණ සතුටක් නැගේ. ඉතා හෙමින් මා රිය පදවන්නේ දූවිලි නොනැගෙන්නටම නොවේ. දකින සියළු දෑ මගේ අතීත මතකයන් හා ගලපන්නට මට උවමනාය. වටපිට පෙනෙන දසුන් නුපුරුදුය. සුපුරුදු බිමක මම ආගන්තුකයෙක් වී සිටිම්ද? නමුත් මම ආගන්තුකයෙක් නොවෙමි. ඒ අතීත මතක සුවඳ හැමදාම ලෙංගතුය. වියපත් දෑසට, යටගිය මතකයට, දුටුවනම ගෝචර නොවුනත්, පරිසරයේ සදාතනික තාරුණ්‍ය අතර සැඟවුණු පැරණි දැනහැඳුනුම් කම් කෙසේ නම් සැඟවිය හැකිද?

මේ මා වසර දහ අටකට පෙර පාසල් ආ ගිය පාරයි. බසයේ පා පුවරුවේ එල්ලී, උදා පින්නෙන් පෙඟුන දූවිලි සුලඟ විඳ ගනිමින්, අද මගේ ඇස සනසන නිල් ගොයමින් පිරි කෙත්වතු තඹේට මායිම් නොකර, නිල් කොට කලිසමෙන් සුදු දිග කලිසමට උරුමකම් හිමිකර දුන් යෞවනයේ ආඩම්බරය ලොවට කියාපාමින් ගිය පාරයි. මගේ ගත සිත සතුටින් පිරී තිබේ. අවට පෙනෙන අලුතින් ඉදිවුනු ගොඩනැගිලි, ළපටි ගහකොල දෙස මම බලමි. 'මේ බිම ගැන නුඹලා නොදන්නා ඉතිහාසයක් මම දනිමි' මම ආඩම්බරයෙන් සිතමි. ඉතින් මම කිසිසේත්ම ආගන්තුකයෙක් නොවෙමි.

දැරියක් බිම වැටී හඬන්නීය. මම රථය පසෙකට කර නවත්වමි. ඇගේ දණහිස සීරී ලේ ගලයි. මම වහා ගොස් ඇයව නැගිටුවමි. ඇය නොනවත්වා හඬන්නීය "අම්මා.. අම්මා...". මම ඇයව වඩා ගනිමි "දුවගේ ගෙදර මොකද්ද?". ඇය අත දිගු කල දිශාවට මම සෙමෙන් පා තබමි. දැරියගේ හැඬීම දැන් ඉකිගැසීමකි. "දූගෙ කකුල රිදෙනවද?"... ඇයගේ පිළිතුර හිස වැනීමකි. ඈ හුරුබුහුටි සුරතල් දැරියකි. ඇය නොදැනුවත්වම ඇගේ සිඟිති අත්පොඩිය මගේ ගෙලවටා ගොස් ඇත. ඇයගේ රතුවුනු කම්මුල් දිගේ බේරෙන කඳුලු, වරින්වර මතුවන ඉකිය, මගේ සිතේ ඇතිකරන්නේ සතුටකි.

ගැහැණියක් දිව එන්නීය. පරණ ගවුමකට උඩින් චීත්තයක් දවටාගත් ඇගේ කෙහෙරැලි අවුල්ය. ඇයගේ දෑසේ ඇත්තේ බියපත් පෙනුමකි. 'දැරියගේ මව' මම අනුමාන කරමි. එහෙත් මේ දැරියගේ හුරුබුහුටි කමට සරිලන සුන්දරත්වයක් මේ ගැහැණියගෙන් පලනොවන බවද මසිතේ සටහන් වේ. "අම්මා... " දැරියගේ හැඬුම නැවතත් ඇරඹේ. ඇය මේ ගැහැණිය දෙසට දෑත් දිගුකරමින් හඬන්නීය. මම දැරිය ඇයට භාර දෙමි. ඇය යමක් තේරුම් ගත්තා සේය. දෑසේ රැඳුනු බියපත් බව පහ වී මද සිනහවක් ඇඳේ. අපේ නෙත් මුණගැසේ. ඒ දෙනෙත්..... මම නැවතත් ඇගේ දෑසට එබෙමි. ඇගේ දෑසේ නැගි විශ්මයට පත් වූ බැල්ම තුලින් මම අතීත මතක සොයා යමි.

***

ප්‍රමාද වී දිව ආ ඈ බසයට නැග්ගේ අන්තිමටය. බසයේ සෙනග පිරී ඇත. ඇයට බසයේ ඇතුලටම නැගීමට ඉඩ නැත. දැන් ඇය පා පුවරුවේ මටත් පහළිනි. මට තරමක නොරුස්සනා හැඟීමක් ඇතිවේ. පා පුවරුවේ අන්තිම පඩි දෙක මගේ සුපුරුදු ස්ථානයයි. දැන් මට පඩියක් උඩට නැගීමට සිදුවී ඇති අතර, කෙල්ලක් මටත් පහලින් සිටී. මගේ කොලු සිතට මෙය නොරුස්සයි. ඇය උඩට නැගීමට උත්සහ දරන්නීය. නමුදු බසයේ ඉඩක් නැත. මීටත් උඩට නැගීමට මගේද කිසිම කැමැත්තක්ද නැත.

බසය තරමක් වේගයෙන් වංගුවක් හරවයි. බසයේ සිටි කීප දෙනෙකුගේ බර මගේ උරහිසට දැනේ. පා පුවරුවේ පොල්ල අල්ලාගෙන සිටින මගේ දකුණත රිදුම් දෙයි. එක්වරම මගේ බඳ වටා අතක් යයි. ඇදහිය නොහැකි දෑසින් ඇය දෙස බලන මට ඇගේ අසරණ දෑස් හමුවේ. මගේ බඳ වටා ඇති ග්‍රහණය ලිහිල්වන බව මට දැනේ. එක් වරම ක්‍රියාත්මක වන මම මගේ වම් අත ඇගේ ඉනවටා යවමි. මගේ ග්‍රහණය දැඩිය. ඇගේ ළැම පෙදෙස මගේ ඇලයට තෙරපී ඇත. ඇගේ සුවඳ මට දැනෙයි. ඇය ලැජ්ජාවෙන් ඉවත බලා සිටින නමුදු ඇගේ අත තවමත් මගේ බඳේ එතී තිබේ. නුපුරුදු හැඟීමක් මා වෙලාගනී. උරහිස්, දෑත් රත්වී රිදුම්කන තත්පර කිහිපයක, මම යෞවනයේ අපූර්ව චමත්කාර අත්දැකීමක් විඳගනිමින් සිටිමි.

රතු වූ මුහුණින් ඇය මා දෙස බලයි. නමුත් ඇගේ දෑසේ ස්තුතිපූර්වක සිනාවක් නැගී තිබේ. "මෙතනින් බහිනවා".... මගේ අත තවමත් ඇයගේ බඳවටා බව මට සිහිපත්වේ. මම කලබලෙන් අත ඉවතට ගනිමි. ඇගේ වතේ සිනහවක් නැගේ. යළිත් වරක ස්තුතිපූර්වක සිනහවකින් මදෙස බලා ඇය බසයෙන් බැස යයි. මට පිටුපා යන ඇය දෙස මම තෘප්තිමත් දෑසින් බලා සිටිමි. මගේ සිත ආගන්තුක සිතුවිලි වලින් පිරී ගොස්ය. ඇගේ සුවඳ තවමත් මා ලඟ ඇතැයි මට සිතෙයි. ඇය නැවත හැරී මා දෙස බලාවි ද? ඇය තවමත් මට පිටුපා ඇගේ පාසල දෙසට ගමන් කරන්නීය. දැන් ඇයට ඇගේ යෙහෙළියන් කිහිප දෙනෙක්ද එකතු වී ඇත. බසය සෙමෙන් ඉදිරියට ඇදෙයි. මොහොතකට පෙර මා ලද මිහිර පරදවා සිහින් දුකක් මසිතේ මෝදු වේ. සිතින් කිරා මැන තෝරා ගත් නිමේශයක මෙන් එක් වරම ඈ හැරී බලයි. මම ඇයට අත වනමි. ඇයද පෙරළා මට අත වනන්නීය. ලෝකයම ජය ලද්දෙකු සේ ඉපිලී ගිය සතුටින් සැහැල්ලුවෙන් මා පාවී යන්නා සේය.

***

ඒ අතීත මතකයට හිමිකම් කියන දෙනෙත් එදා ස්තුති පූර්වක සිනහවෙන්ම මා අභියස දිලිසෙයි. කාලය විසින් යටපත්කල ඇගේ සුන්දරත්වය, අතීතය හඳුනන මගේ නෙත්වලින් සැඟවිය නොහැක. වරෙක මගේ ඇලයට තෙරපුනු ඇගේ ළැම ද, මගේ ග්‍රහණයට අසුවූ ඇගේ බඳ ද, තවමත් තාරුණ්‍යයෙන් සම්පූර්ණයෙන්ම පිටමං වී නැති බව මට සිතේ. ඇය එදා මෙන්ම තවමත් සුන්දරය. මා දෙනෙත් ගමන්කල ඉසව් දුටු ඇයගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවී ඇත. නමුත් ඇගේ දෑසේ ස්තුතිපූර්වක සිනාව තවම තිබේ. දැරියගේ මුහුණ සිපගත් ඈ, යළිත් වරක ස්තුතිපූර්වක සිනහවකින් මදෙස බලා  සෙමෙන් සෙමෙන් නිවෙස දෙසට පියමං කරන්නීය.

මට පිටුපා යන ඔවුන් දෙස මම සිතේ නැගි අපූර්ව හැඟුමකින් යුතුව බලා සිටිමි. මගේ සිත නේක සිතුවිලි වලින් පිරී ගොස්ය. ඇය මා හඳුනාගත්තාද? ඒ අතීත සිදුවීමේ මතකයන් ඈ ලඟත් තිබේද? මට මෙන්ම ඇයටත් එය අපූර්ව අත්දැකීමක් වුණිද? ඇය දැරියගේ කඳුලු පිසිමින්, ඇය සනසවමින් මට පිටුපා ගමන් කරන්නීය. මම සෙමෙන් සෙමෙන් රථය වෙත පියමනිමි. හදිසියේ සිහිපත් වූ යමකින් මම නැවත හැරී බලමි. ඇය දැරියගේ කණට යමක් කොඳුරන අයුරු මට පෙනේ. මොහොතකින් දැරිය සිනාමුසු මුහුණින් මා දෙස බලා අත වනයි. "ටටා....." මගේ සිත සතුටින් ඉපිලයයි. "ටටා...." මමද පෙරළා අත වනමි. සිතින් කිරා මැන තෝරා ගත් නිමේශයක මෙන් එක් වරම ඈ හිස හරවා මා දෙස බලා දැරියගේ අත වැනීමට එකතු වන්නීය. පහන් හැඟීමකින් වෙලී සතුටින් සැහැල්ලුවෙන් මා පාවී යන්නා සේය.













Thursday, November 15, 2012

මේ ලොව යම් කිසිවෙකු... මා හට පෙම් කල බව..



මිනිස්සු විවාහ වෙන්නේ ඇයි? ඇය අසයි. ඇයට පිළිතුරක්ද ලැබෙයි.

ඒ ඇය බලාපොරොත්තු වූ පිළිතුර නොවන නිසා ඇයම ප්රශ්නයට පිළිතුරු සපයයි.

අපි විවාහ වෙන්නේ අපේ ජීවිතයට සාක්ෂිකාරයෙක් ඕනේ නිසා. මේ ලෝකේ මිනිස්සු බිලියන ගණනක් ඉන්නවා, එතනින් එක ජීවිතයක ඇති වැදගත්කම මොකද්ද? ඒත් විවාහයකදී, අනෙකාගේ ජීවිතේ හැම දෙයකදිම ලඟින් ඉන්න අපි පොරොන්දු වෙනවා. හොඳ දේවල්, නරක දේවල්, සාමාන්ය දේවල්, හැමදේම... හැම වෙලාවෙම…. හැමදාම. අපි අනෙකාට දෙන පණිවිඩේ තමයි 'ඔයාගේ ජීවිතේ කාගේවත් අවධානයට ලක් නොවී ගෙවෙන්නෙ නෑ, මොකද ඔයාගේ ජීවිතේ මගේ අවධානයට ලක් වෙන නිසා, ඔයාගේ ජීවිතේ කිසිකෙනෙක් නොදැකම ගෙවෙන්නෙ නෑ, ඒ ජීවිතය දකින්න මම ඉන්න නිසා.

මේ දෙබස ඇතුලත් වෙන්නේ  Shall we Dance චිත්රපටියේ.

ඇයි අපි බ්ලොග් ලියන්නේ? මට හිතෙනවා අර කලින් පිලිතුර තුළම ඒකටත් උත්තරේ තියනවා කියලා.

යමක් කමක් හිතන්න පුළුවන් හැමෝටම ජීවිතේ එක කාලෙකදි යම්කිසි තනිකමක් දැනෙනවා කියල මට හිතෙනවා. මේක භෞතිකව දැනෙන තනිකමක්ම නෙමෙයි. මිතුරු ඇසුරෙන්, ප්රේම සම්බන්ධයකින්, විවාහයකින් හැමවෙලේම මේ තනිකම නැතිකරන්න බැහැ. මේ තනිකම ඇතිවෙන්නේ තමන්ගේ සිතුවිලිම, තමන්ගේ අදහස්ම, තමන්ගේ මතවාදම දරන තවත් අය ලෝකෙ කොහේ හරි ඉන්නවද කියන සිතුවිල්ල එක්කයි. ඇපි හැම වෙලේම තමන්ට සමානයෙක් හොයාගෙන යනවා. තමන්ගේ සිතුවිලි තවකෙක් තුලින් දකින්න උත්සහකරනවා. තමන්ගේ අදහස් බෙදාහදාගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවද කියලා හොයනවා.

සමහර වෙලාවට, තමන්ගේ අදහස්, සංකල්පනා සියල්ල සම මට්ටමෙන් බෙදාගැනීමේ හැකියාව විවාහ වූ යුවලකට නැහැ. විවාහයකට ඒක අත්යාවශ්ය කාරණයක් නෙවෙයි. විවාහයකදී අපි බලාපොරොත්තු වෙන්නේ එකට ජීවත්වීම තුල එකිනෙකාට අපි දක්වන ආදරය, අවධානය සහ අනෙකාගේ ජීවිතය පිළිබඳ අපට ඇති අවබෝධය. එතැනදි, මම කියවන පොතක ඇති අදහස්, මතවාද ඒ අයුරින්ම මගේ බිරිඳ තේරුම්ගැනීමට වඩා වැදගත් වෙන්නේ මම පොත් පත් කියවන්න කැමති බවත්, සමහර විට මොනවගේ පොත්පත්ද කියන දේ ඇය තේරුම් ගැනීමයි. සොඳුරු සිත බ්ලොගේ තිබ්බ නිර්මාංශ කතාව වගේ.... සැමියා නිර්මාංශ වූ පමණින් බිරිඳත් නිර්මාංශී වීම නොවෙයි, දෙදෙනාගේ ප්රියතාවයන් ගැන දෙදෙනා තේරුම්ගැනීමයි විවාහයකදී විය යුත්තේ.

නැවතත් ප්රධාන මාතෘකාවට....

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගේ ලඟ තනියට එනු මැනවී
මගේ ලඟ තනියට එනු මැනවී....

ස්ත්රී පුරුෂ ප්රේමය මුල්කරගෙන ලියැවුණත්, මේ ගීයෙන් කියවෙන සත්යය සහෘදත්වය පිළිබඳවත් වලංගුයි කියලා මම හිතන්නේ. කවදාහරි මරණයෙන් අවසන් වෙන අපේ ජීවිතය, කිසිවෙකු නොදන්නා, කිසිවෙකුට මතක නැති තවත් නිකම්ම නිකම් ජීවිතයක් වෙයිද කියන බය හැමවෙලාවෙම අප තුල තියනවා. ඉතින් අපි අපේ ජීවිත තව කෙනෙකුට වැදගත්, තව කෙනෙකුට මතක තියන ජීවිතයක් කරන්න උත්සහ ගන්නවා, සමහර විට එහෙම කරනවා කියන සම්පූර්ණ අවබෝධයන් නෙමෙයි. ඉතින් අපි බ්ලොග් ලියනවා. අපිට හිතෙන්නේ අපි දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදාගන්නවා කියන සිතුවිල්ලයි. නමුත් අපි අවංකව තව ටිකක් හිතුවොත්, ඇත්තටම අපි කරන්නේ, අපි කියන කරන දේ දකින, ඒ ගැන අවධානයෙන් ඉන්න සහෘදයන් පිරිසක් එකතු කර ගැනීම නොවේද?

"සමහර විට මට කියලා යන්න බැරි වෙයි..හිටි හැටියේ නොකියම යන්න වෙයි මට...  ඒ හින්දා කල් ඇතිවම කියලා තියෙන එක හොඳයි... හැමෝටම ආයුබෝවන්...! "

මේ ලඟදී දවසක බ්ලොග් අවකාශයේ පහුකරගෙන යන්න අපහසුවක් දැනුන වචන පේළියක්... මම කියන්න උත්සහ කරන දේ මේ වචන කීපය ඇතුලේ තියනවා කියලා මට හිතෙනවා. තමන්ගේ මරණය අපේ එදිනෙදා ජීවිතයේ නිතර කතාබහ කරන මතෘකාවක් නොවුනාට, අපි කියන කරන දෑ වල මරණය කෙරෙහි අපේ ආකල්ප සැඟවිලා තියනවා.

මට සමාවෙන්න....

මේක නැවත කියවාගෙන යනකොට, මම අසාධාරණ විදිහට 'මගේ' ආකල්ප තුලින් 'අපි' කරන දේ වටහාගන්න උත්සහ කරල තියන බව මට හිතෙනවා. හැමෝම බ්ලොග් ලියන්නේ මම මේ කියන හේතුව නිසාම නොවෙන්න පුළුවන්. නමුත් ඇපි හැමෝගෙම බ්ලොග් යටින් පොදුවේ දිවෙන්නේ මේ හේතුව කියලා හිතන්න මම කැමතියි. එහෙම හිතනකොට, යම් සැහැල්ලුවක් දැනෙන නිසා, මං වගේ තවත් අය ඉන්නවා කියලා දැනෙන නිසා.

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි

මහගමසේකරයන්ගේ පෑන් තුඩෙන් ලියැවුන මේ ගීතයේ ආරම්භක පද පෙලත් එක්ක මම නවතින්නම්. මොහොතකටවත්, මගේ තනිකම නැති කරන්න හරි, ඔබේ තනිකම නැති කරගන්න හරි ඕනේ නම් පහල සුදු පාට කොටුවක් ඇති... මතක සටහනක් තියලා යන්න.



ප.ලි.
නිතරම ලිපි පල නොකලත්, නිතරම කොමෙන්ට් දාන්න බ්ලොග් වල ඇවිදින නිසා, මම තෙසතියක විරාමයක් ගන්නවා කියලා කියල යන එක හොඳයි කියල හිතුනා.

Monday, November 5, 2012

රාවණාගේ දුන්න, බොරු ඇහැ සහ බලුමැක්කා




මම උදේ ඇහැරලා කොම්පීටරේ ලඟ වාඩි උනාම මොකද්දෝ 'පුසුඹක්' එනවා. මම කල්යාණි හඳුන්කූරු පත්තුකරන්නෙවත්, රාණි සඳුන් සබන් ගාල නාන්නෙවත් නැති නිසා මම බැලුවා මේක මේ කොහෙන්ද එන්නෙ කියලා. අත පොඩ්ඩක් මූණට ලං කරලා කටින් හුස්මක් ඇරලා බැලුවා මගෙ ජීවන සුවඳට කෙලවෙලාද කියලා. ම්ම්හු... අවුලක් නෑ, ඊයෙ රෑ බීපු කිරිවල සුවඳ තාම තියනවා. පොඩ්ඩක් හොයලා බලනකොටයි වැඩේ අහුවුනේ... දෙයියනේ මගේ බ්ලොග් එක පැත්තකින් පුස්කාලා නරක්වේගන එනවා. කවුද දන්නේ බ්ලොග් පාවිච්චි නොකර නිකං හිටියාම පුස් කනවා කියලා. ඉතින් පොඩ්ඩක් දූවිලි කුණු ගසලා, පුස් ටික කඩලා දාල, මකුළු දැල් පිහදාල එහෙම පටං ගත්තා මොනවා හරි ලියන්න.

බරපතල මාතෘකාවක් ආව ඔලුවට... "පූර්ණ නිදහස් වෙළඳපොල ආර්ථිකයක් යටතේ මතු විය හැකි සමාජ ගැටළු".... සෑහෙන වෙලා කල්පනා කරලත් කිසිම ගැටළුවක් හිතාගන්න බැරිවෙච්චි නිසා තව මාතෘකාවක් හිතුවා.

"අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය, දැනටමත් වළදැමීමට සූදානම් කර ඇති නීතියේ ආධිපත්‍යයේ මිනීපෙට්ටියට ගසන අවසාන ඇණයද?" ඔන්න, 'බික්ක' කිව්ව දෙයක් මතක් වෙනවා... 'ලංකාවෙ ප්‍රශ්න ගැන කතාකරන්න රට අතැරල ගිය උඹලට සදාචාරාත්මක අයිතියක් නැහැ'... සදාචාරය බල්ලට දාල අම්මප දෙකක් ලියන්න හිතෙනවා... ඒත්.... එක්කෝ ඕන්නෑ.

රාජ් තමයි ඔය වෙලාවේ පිහිටට ආවේ.... සූටි සූටි කතන්දර ටිකක්... ලේසියි, පහසුයි... කට්ටියත් කැමතිවෙයි. ඉතිං උගේ නවාතැනේ කොණක තිබ්බ පුංචි පොටෝ එකක් අරන්, පින්ට් කොරල, 'මලක්' තියල, දුං ටිකක් අල්ලල, පිං දීලා ලියන්න ගත්තා. හප්පේ දුං ටිකක් වැදුනාම තියන සනීපේ.....

-----------------------------------------------------------------------

ඔන්න දවසක්.. අර පාසල්වල හරියට වැඩ කෙරෙනවද කියලා බලන්න එන පරීක්ෂක මහත්තුරු ඉන්නේ.... ආන්න එයින් මහත්තයෙක් ගියාලු ඉස්කෝලෙකට. නිදිකිරා වැටි වැටි කොල්ලො ටිකක් හිටපු පංතියකට ගොඩවෙලා, ගුරුවරයාගෙන් පාඩං පොත ඉල්ලගෙන, එයාට එළියට යන්න කියලා ඇහුවලු ළමයින්ගෙන් ප්‍රශ්නයක්. කොහෙන්ද පිංවතුනි? පොතෙන් බොල පොතෙන්.

"රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද?"

දැන් ළමයි ටික පුල්හොල්මං.... ලේසිපාසු කේස් එකක්ද? කාගෙන්වත් උත්තරයක් නොලැබෙන නිසා, පරීක්සක මහත්තය ඉස්සරහ පේලියේ හිටපු කොල්ලෙක්ව නැගිටවලා ඇහුවලු..හ්ම්ම් කියනවා බලන්න... "රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද?"

ටික වෙලාවක් බලං හිටපු කොල්ලා එක පාරටම අඬ අඬා කියන්න ගත්තලු "අනේ සර්, මං නං ඕක කැඩුවේ නෑ... මං දන්නෙත් නෑ සර්" කියලා. පරීක්සක තුමාට දැන් මල.... ගුරුවරයට එන්න කියලා, කිව්වලු, "බලනව, මම මේ ලමයින්ගෙන් ඇහුවා 'රාවණා රජ්ජුරුවන්ගේ දුන්න කැඩුවේ කවුද' කියල, මෙන්න මේකා අඬන්න හිටපි 'මම නං නෙමේය කියලා', මොකද්ද මේකෙ තේරුම, මෙහෙමද උගන්නනේ?" කියල. ගුරාට දැන් වැඩේට අප්සැට්... කොල්ලා දිහා පොඩ්ඩක් රවලා බලල... "මහත්තයා, මේකනේ... මුං ඔක්කොම මැරෑටියෝ... ඉගෙන ගන්න ආපු එවුන් නෙමෙයි. හැබැ‍යි, මේකා නම් දුන්නක් කැඩුවා කියලා හිතන්න අමාරුයි. පේන්නේ නැද්ද පඟරනැට්ටා වගේ... සර් මට විනාඩි 5 දෙන්න මම හොයලා දෙන්නම් ඕක කඩපු එකාව" කියලා කියපි.

පරීක්සක තුමාගේ මල දැන් කණෙන් බේරෙන සයිස්. දෙන්නං තොපිට හොඳ සබ්බුවක් කියලා, කෙලින්ම ගිහිං නැවතුනේ ප්‍රින්සිබල් ගාව. තාම කර්නල් පට්ටමක් නැහැ කියලා ප්‍රින්සිබල් ටිකක් අප්සැට් මූඩ් එකේ හිස් කොල වල අස්සන් කර කර ඉන්නවලු. "විදුහල්පතිතුමා, මම මේ අටේ පංතියකට ගිහින් ළමයින්ගෙන්... (ඉතිං විස්තරේ කිව්වලු ). ගුරුවරුත් මෙහෙම නං කොහොමද මේ ඉස්කෝලවල උගන්නන්නේ?" කියලා පෝඩ්ඩක් ලොකු සයිස් එකෙන් කිව්වලු. වෙන්ඩ කර්නල් ඉන්න ප්‍රින්සිබල්ට මෑන්ව එච්චර අල්ලලා නෑ, ඒත් ඉතිං රාජකාරිය කොරන්ට එපායෑ කියලා, මොකද්දෝ පයිල් කවරයක් අරං පෙරලගෙන, පෙරලගෙන, පෙරලගෙන, පෙරලගෙන ගිහින් එක පිටුවක නතර වෙලා.... අපිට තියනවා... වොලිබෝල 4ක්, ක්‍රිකට් ආම්පන්න, පුට් බෝල 2ක්, කවපෙත්තක්, යගුලි 2ක්, බැඩ්මින්ටන් සැට් එක නම් මම පරිස්සමට ගෙදර ගෙනිච්චා... හැබැයි, අපේ ඉස්කෝලෙ කවදාවත් දුන්නක් තිබිලා නෑ... ඕක මේ ඉස්කෝලේ වෙච්ච් දෙයක් වෙන්න බෑ පරීක්සක මහත්තය. මේ බලන්ඩකො මේ තියෙන්නෙ ලිස්ට් එක" කියලා දික් කලාලු ලිස්ට් එක.

පරීක්සකතුමා අඩි හප්පල නැගිට්ටෙ සැලියුට් ගහන්න කියලා වගේ පෙනුනත්, පුටුවත් පෙරලගෙන කඟවේනා වගේ නැගිටලා, මල අතේ අරං කෙලින්ම ගියාලු, කලාප අධ්‍යාපන කාර්යාලෙට. පලාත් අද්‍යාපන අධ්‍යක්ෂතුමා ගමනක් යන්න එලියට බහිනවලු.... ඒත් ප්‍රස්නේ බැරෑරුංකම ගැන හිතලා, පරීක්සකතුමා පස්සෙන් ගිහිල්ලා, පන්න පන්න විස්තරේ කිව්වලු. අධ්‍යක්ෂතුමාට ඉතිං සාවධානව අහං ඉඳලා ප්‍රස්නේ බැරෑරුංකොම තේරුං අරං, "සාමාන්‍යෙන් දුන්නක් කැඩුනාම, ඒ කැඩිච්ච කෑලි එවනකං අපි අලුත් දුන්නක් නිකුත් කරන්නෙ නෑ... දන්නවනේ, අපේ අය දුනු ගිලින හැටි. ඒත් මහත්තයව මං දන්නවනේ.... අර ගුණදාසට කියලා අදට දුන්නක් ඉල්ලගෙන යන්න, හෙට මතක් කරලා අර කැඩිච්ච කෑලි ටික අරං එන්න" කියලා වාහනේ නැගලා රූං ගාල ගියාලු. පරීක්සකතුමාට ඇඬෙන්න එනවලු.... ඇමතිතුමා හම්බවෙන්න යනවද කියලා කල්පනා කරලා හිතුනලු වැඩක් නෑ... අර මාලක මහත්තයවත් පත්වෙච්චි දවසක යනවා ඇරෙන්න දැං ඉන්න එකා ලඟට ගිහින් වැඩක් නෑ කියලා, ගෙදර ගියාලු.

ගෙදර ගිහිං හාන්සිපුටුවේ වැටිලා, ගෙදර උන්දා හදලා දීපු තේක බිබී පරීක්සකතුමා කල්පනා කරනවලු රටට ගිය කල. කාගෙන් බේරුනත් බැරිය නෝනාගෙන් බේරෙන්නට කිව්ව වගේ... නෝනාට වැඩේ තේරිලා ඇවිත් ඇහුවලු, "ඇයි අනේ ඔයා අද හනිමූන් හත අටකට යන්න තියන මනමාලයෙක් වගේ ඉන්නෙ" කියලා. රාජකාරි ප්‍රස්න නෝනා එක්ක කියන හොඳ නෑ කියලා දන්න පරීක්සක මහත්තයා කිව්වලු, නෑ මේ වෙන ප්‍රස්නයක් කියලා. ගෑනි හපෙන්න තියාගත්තලු "ඔයා තාම අරකිව හිතෙන් අහක් කරලා නෑ නේද? ඕකි ගැන නේද ඔය ඔච්චර හිතන්නේ, මම නම් ඉන්නෙ නෑ ලිඳේ පනිනවා" කියලා දුවන්න ගත්තලු ලිඳ පැත්තට. ගෑනි ලිඳට පැන්නොත් ලිඳ ඉහලා මිසක් ආයෙ පාවිච්චියට ගන්න බැරි බව මතක් වෙලා පරීක්සක තුමා බෝල්ටා වගේ දුවලා ගිහිං නෝනව අල්ලගෙන, "නෑ ගෑනියේ මේක මේ ඉස්කෝලෙක පුරස්නයක්" කියලා කිව්වලු. ඒත් ගෑණි විස්වාස කරන පාටක් නෑලු... ලිඳ බේරගන්න ඕන හින්දයි, ගෑණිටත් ඉතිං සෑහෙන්න අධ්‍යාපනයක් තියන හින්දයි පරීක්සක තුමා ඔන්නොහෙ කියලා සම්පූර්ණ කතාවම කියලා දැම්මලු.

ඔන්න දැන් පරීක්සක නෝනා කූල්ඩවුං වෙලා ආයෙමත් ගිහිං කුස්සියේ වැඩකටයුතු කරන්න ගත්තලු. පරීක්සකතුමත් හිටපු පුටුවම ඇවිත් ආයෙත් අර 'හනිමූන්' මූඩ් එක දාගත්තලු. ඔන්න බොලේ, ටිකකින් ඇතිලියකුත් බිඳගෙන ගෑණි දුවං ඇවිත් කිව්වලු.... "මට නං හිතෙන්නේ අර තක්කඩි කොල්ලම තමයි ඕක කඩන්න ඇත්තේ" කියලා. පරීක්සකතුමා ඒ පාර ලිඳ පැත්තට දිව්වේ බෝල්ටාගෙත් රැකෝඩ් එක කඩාගෙන කියලා තමයි පොත් පත් වල ලියවිලා තියන්නෙ ඕං.

-------------------------------------------------------------------------------

දැන් මේ කියන්න යන කතාවේ මනුස්සයාට තිබ්බේ එක ඇහැයිලු. එක ඇහෙන් ඇහැක් විදියට තමයි ඉතිං ජීවත්වෙලා තියෙන්නේ. බැලු බැල්මට ඇස් දෙකම තියනව වගේ පෙණුනට අනිත් එක බොරු ඇහැක්ලු. කොච්චර ඉස්තරම් බොරු ඇහැක් ද කියනවා නං ඇස් දෙක දිහා බලලා කෝකද බොරු, කෝකද ඇත්ත කියලා එකපාරට කියන්න ඇහැක් කෙනෙක් නෑල්ලු. දැන් ඉතින් රෑට නිදාගනන්කොට මේ මනුස්සයා බොරු ඇහැ එලියට අරන් වතුර වීදුරුවක දාලා තියනවලු 'ප්‍රෙස්නස්' එක තියාගන්න. අනික ඇඳේ එහෙමෙහෙ පෙරලෙනකොට ඕක ගැලවිලා වැටිලා බිඳුනොත් එහෙම...

දවසක් මුන්දැට හීනයක් පෙනිලා (හොඳ එක ඇහැක් තියන නිසා හීන දකින්න ඇහැක්ලු ) කෑගහගෙන, දාඩිය දාගෙන ඇහැරිලා අර වතුර එක සට සට ගාලා බීලා දැම්මලු. ආයෙ මොනවද, ඇහැත් ගිලිලා නේද කියලා මතක් උනේ පස්සෙලු.

ගැට්ට මාරු උනත් ලිඳට වැටිච්ච එකා එලියට එන්න ඕනෙ ලිං කටින්මයි කියලා හිතලා, මුන්දෑ ඉතින් වැඩිපුර බණ්ඩක්කා එහෙම කාල, පුක හොඳට සබන්දාලා  හෝදලා ලෑස්ති උනාලු. කරුමේ කියන්නේ පිංවතුනි... අගටම ඇවිත් ඕක හිර වුනාලු පුග්ගැට්ටේ. දන්න සෙල්ලං ඔක්කොම දාලා තැටමුවත් ඇහැ නෙමෙයිලු එලියට එන්නේ.

කොරන්නම දෙයක් නැති තැන, ඕන පුකක් කියලා ගියාලු පශ්චාත් බාග උපාධිදාරී දොස්තර මහත්තයෙක් ලඟට. හීනෙන් බය වෙච්ච කතාව කියන්න වෙන නිසා, අපේ කතානායකය ඇහැ ගැන විසේසයෙන් නොකියන්න හිතගෙන තමයි ගිහිං තියෙන්නේ. දැන් දෙබස යනවලු මෙහෙම;

"මොකද පුක?"

"මොකද්ද හිරවෙලා දොස්තර මහත්තයෝ... උදේ ඉඳන් දොට්ට පිලට යන්නත් බෑ."

"මොනවද අන්තිමට ඇතුලට දැම්මේ?"

"දැන් මාසෙකට විතර කලිං නං"

"නෑ නෑ... ඊයෙ පෙරේද"

"නෑ මහත්තයො"

"ඉතිං දුන්නද?"

"පුකද? නෑ මහත්තයෝ  මම දෙන ජාතියේ නෙමෙයි" කියද්දි තමයි දැකලා තියෙන්නේ දොස්තර ෆෝන් එක කනේ තියාගෙන ඉන්න බව.

"හරි මං එනකං දෙන්න එපා" කියලා ෆෝන් එක තියපු දොස්තර මහත්තයා "අපි ටිකක් බලමු, මොකද වෙලා තියෙන්නේ" කියලා පැත්තක තිබ්බ ඇඳ පෙන්නුවලු.

"කලිසම පාත් කරලා දණ ගහගන්නකො ඇඳේ".... ඒ වචන කලින් කවදාහරි අහල තියන බව මතක් උනත්, මේ වෙලාවේ ඕවට සුදුසු තැන නෙමෙයි නිසා ඔන්න අපේ කතානායක කිව්ව විදිහටම ඉන්නවලු... දොස්තර ඉතිං ග්ලවුස් එහෙම දාලා, ලයිට් එකත් ගහලා පොඩ්ඩක් ඈත් මෑත් කරලා බැලුවලු.

බුදු අම්මෝ කියලා කෑගහන සද්දෙටයි, වටේ පිටේ තිබ්බ බඩු පෙරලෙන සද්දෙටයි නර්ස් නෝනා දුවගෙන එනකොටත් අපේ පොර මොකද උනේ කියලා හොල්මන් වෙලා බලං ඉන්නවලු. යම්දෝ නොයම්දෝ කියලා හිතලා නර්ස් නෝනා නැවතුනත්, වැටිලා හිටිය දොස්තර දැක්කහම හිතුනලු තමං හිතපු ජාතියේ දෙයක් නෙමෙයි කියලා.

ඉතිං දෙන්නම එකතුවෙලා දොස්තරව නැගිට්ටවලා, වතුර ටිකක් හොයාගන්න බැරි තැන, ටෙස්ට් කරලා ඉවර වෙච්චි මූත්‍රා සාම්පලයකින් ටිකක් මූණේ ගානකොට දොස්තරට සිහිය ආවලු. දැන් අපේ කතානායකට මාර බයයිලු, තමන්ට මොකක් හරි දරුණු ලෙඩක් කියලා. "අනේ ඇ‍යි දොස්තර මහත්තයා, මොකද්ද ප්‍රස්නේ?" කියලා බයෙන්ම ඇහුවලු. තාම අඩ සිහියෙන් වගේ හිටපු දොස්තර මහත්තයා යාන්තම් වචන ගලපගෙන මෙහෙම කිව්වලු.

"මං..... දැන් අවුරුදු..... 21 තිස්සේ.... පුකවල් බලනවා... අයිසේ..... ඒත්.. ඒත් අද තමයි... ඉස්සෙල්ලාම.. පුකක් මගෙ දිහා බැලුවෙ".

------------------------------------------------------------------

යන්න කලින් මෙන්න තවත් සූටි කතාවක්....

බලු මැක්කෙක්, තව බලු මැක්කෙකුගෙන් මෙහෙම ඇහුවලු.... "මචං, පයිංම යනවද? නැත්නං බල්ලෙක් එනකං ඉම්මුද?"

------------------------------------------------------------------

ප.ලි

1. හිනාවීම හෝ නොවීම පාඨකයා සතු වගකීමක් වන අතර හිනා නොයන කේස් වලට කතෘ වගකියනු නොලැබේ.

2. ආච්චීගේ අදහස් සහ ප්‍රකාශ උන්දෑගේ අනුමැතියකින් තොරව පලකිරීම මට තහනම් කර තිබේ. එම නිසා ආච්චි පිලිබඳව අද විස්තර පල නොවේ.

3. 'පිංවතුනි' යන වචනය භාවිතය මාරයාගේ උදහසට හේතුවිය හැකි බැවින්, මං බලධාරියා විසින් කපාහරින ලදී.

Wednesday, October 24, 2012

මාගේ සහෝදර බ්ලොග්කරුවෙනි...

පුදන කොටම මම කිව්වනෙ, මගේ බ්ලොග් එක ලියනවට වඩා අනිත් අයගේ බ්ලොග් වල කරක් ගහන එකට මම කැමතියි කියලා. මේ වෙනකොට මම රැකියාව කරන තැනින් පැය දෙකක් මට වෙන්කරල දීලා තියෙන්නේ බ්ලොග් කියවන්නයි, කොමෙන්ට් කරන්නයි. අඹ ගහ යට සින්ඩියෙන් තමයි මම බ්ලොග් වලට යන්නෙ එන්නේ... ඉතින් කාට හරි මං ලව්වා බ්ලොග් එකක් කියවගන්න ඕනෙ නං එතනට තමයි දාන්න ඕනේ... මේ වෙනකොට මම නොවරදවා යන බ්ලොග් කීපයක් තියනවා...  එව්වා මම නම් කොරන්න යන්නේ නෑ, මොකද කොහෙද යන හාල් කෑල්ලක් ඇවිත් මෙහෙම කියනකොට ඒක ඒ බ්ලොග් ලියන පිරිසට අගෞරවයක් වෙන්න පුළුවන් නිසා. හරියට නිකං රෝසි ලෝක විවාහක රූ රැජින වෙලා ආවට පස්සේ ගමේ අවුරුදු කුමාරි තරඟෙන් දිනුවා කියන්නා වගේ.

හැබැයි එකෙක්ගේ නම නම් කියන්නම වෙනවා... මාරයා කියන එකාගේ යන්තමින් පේන මූණ මම මතක තියාගෙන ඉන්නේ මගදි දැක්කොත් අල්ලගෙන නෙලන්න. ඌ කොමෙන්ට් වලට තන්කුයි කියන්නේවත් නැහැ... එහෙම බැහැනේ නේද මං අහන්නේ. ඌ ලියන්නයි, අපි කියවන්නයි, යකෝ ඌටම ගිය ලෝකෙ එහෙනං.... ඌට තේරෙන්නෙ නැද්ද මන්දා දාන හැම කොමෙන්ට් එකකටම අඩුම ගානේ තන්කුයි කිව්වහම උගේ කොමෙන්ට් ගාණ දෙගුණ වෙනවා කියලා... සමහර විට අපි වගේ නවක හාල් කෑලි ඔලට ඕක වැදගත් උනාට මාරයා වගේ ප්‍රවීන උන්ට ඕවයෙ ගාණක් නැතුවැති.... හරියට ඔය.. ප්‍රසංග වලට යන්නේ නැති ප්‍රබුද්ධ ගායක ගායිකාවෝ ඉන්නේ...

පහුගිය දවස් වල මම ඔය බ්ලොග් අයියලගේ අක්කලගේ පරණ පෝස්ට් පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉස්ටඩි කොලා... මොකද අපි වගේ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පිරිස ප්‍රවීනයන්ගෙන් ඉගෙන ගන්න එපායැ. හප්පා, මේ කපේදි නිම කොරන්න බැරි වියායාමයක් ඒක... ඒ මදිවට හැම එකකින්ම තව පෝස්ට් වලට ලින්ක්, මාතලන්ගේ 18+ පෝස්ට් එකකින් පටන්ගත්තහම, නවතින්නේ සූටි නංගි කෙනෙක් කඳුලු වක්කර වක්කර ලිව්ව පෝස්ට් එකකින්... එතනින් නවතින්නේ වෙන ලින්ක් නැතුවට නෙමෙයි මටත් ඇඬිලා, නෝනා ඇවිත් මට කතන්දරයක් කියලා ඇඳට එක්කන් යන නිසා.

ලංකාවෙ උසස් අධ්‍යාපනේට 6% හම්බවෙච්ච දවසක, විශ්වවිද්‍යාල වල විෂයක් පටන් ගන්න ඕනේ බ්ලොග් ගැන අධ්‍යයනය කරන්න... ඒ තරම් දැනුං කන්දරාවක්, අත්දැකීම් කන්දරාවක් බ්ලොග් ඇතුලේ තියෙන්නේ... කොමෙන්ට් අධ්‍යයනය කරන එක වෙනම විෂයක් විදියට... මේ හේතුව නිසාවත් සියලුම බ්ලොග්කරුවන්ගේ සහාය මේ අරගලයට ලැබෙන්න ඕනේ... හුටා.... අරගලය දැන් ඉවරයිලු, උණු උණු නිව්ස් එක ආච්චීගෙන්. ලංකාවේ මෑත කාලෙදි ඇති වූ වැදගත්ම සමාජ අරගලය කියලා කියන්නලු... වෙන කවුද ආච්චිම තමයි.

බ්ලොග් එකක් අයිති බ්ලොග්කරුවෙක් විදිහට, මට දැන් ගමේ ලා පිළිගැනීමක් තියනවා කියලා කියන්නේ නිහතමානීව... නිහතමානීකම දන්නෙ නැත්නම් රටපුරාම තියෙන මහින්ද මහත්තයගේ පෝස්ටර් බලලා ඉගෙනගන්න... ඉතින් මම උදේට එක එක්කෙනාට කඩේ යනකොට, හම්බවෙන උදවිය මෙහෙම කියනවා...

"මල්ලියේ.. ලියහංකෝ අපේ ෆොන්සේකා මහත්තයා ගැන"

 "කොලුවෝ, ලියාපංකෝ බුද්ධාගම ගැන"

 "තිසර මල්ලී, අනේ ලියන්නකෝ හොලිවුඩ් නළුවෝ ගැන, ඔයත් ටිකක් අර මැරිච්ච මයිකල් ක්ලාක් ඩන්කන් වගේ"

"කවුද මල්ලී අර කොමුපිළි ගැන ලිව්වේ, අනේ එයා හරී එඩියුකේටඩ් කෙනෙක් වගේ"

"අයියේ, ඔයා ලියන්න 'ආදරයේ විරහ වේදනාව නොහොත් පූජාගේ ගේ කෲර අත්හැරයාම' කියලා ලිපියක්, මම දෙන්නම් විස්තර"

"යකෝ, ලියපංකෝ කවියක් දෙකක්"

"තිසර අයියේ... ඉහි ඉහි, අ.. අනේ... ඉහි ඉහි.. මගේ කඳුලු වලට... ඉහි ඉහි...හූ හූ.. නැද්ද ඔයාගේ බ්ලොග් එකේවත් ඉඩක්... ඉහි හූ හූ... "

"හු**, තොගේ පාණ්ඩිත්‍ය එක එකාට පෙන්නන්න යන්නේ නැතුව, වරෙන් වෙලා තියන වෙලාවක සෙට් වෙන්න"

"තිසා... ලස්සන සින්දුවක් ගැන ලියන්නකෝ... අර 'හිමි නැති පෙමකට' වගේ"

මම ඔය හැමෝටම හිනාවෙලා මොනවා හරි හිත හැදෙන්න කියලා මාරු වෙනවා. හැබැ‍යි සමහර වෙලාවට නම් මම තදින් ඉන්නවා, මටත් කියලා ප්‍රතිපත්තියක්, වෘත්තීමය ගරුත්වයක් කියලා එකක් තියනවනේ. ඉතිං බ්ලොග්කරුවෙක් වීම නිසා මට පැවරෙන සමාජ වගකීම බ්ලොග්කරුවන් වෙන ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනයැ... හැමෝම ඉෂ්ඨ කොරන්නේ ඒ සමාජ වගකීම නොවැ...

ඉතිං අතිමහත් වූ මාගේ සහෝදර බ්ලොග්කරුවෙනි, මම මෙසේ කියමි.... මම ලියමි... තොපලාගේ බ්ලොග් වලට පැමිණ ලියමි... නිරතුරු ලියමි... හම යන තුරු ලියමි...  ඉඳහිට මාගේ බ්ලොගයේද මොනවා හෝ ලියමි.

Thursday, October 11, 2012

පයිනල් එක පිළිබඳ ආච්චිගේ මතය සහ මගේ වල්බූතය



හිරු කොහොම කිව්වත් හිරුට වැඩිය ක්‍රිකට් සහ දේශපාලනය ගැන දැනුම් සම්භාරයක් ඇති අපේ ආච්චී නම් කිව්වේ පැරදුනේ මහින්ද මහත්තයා ආ නිසාම බවය. ආච්චිගේ ෆේස්බුක් එකවුන්ට් එක සීයාට මලපැනපු වෙලාවක ටර්මිනේට් කල නිසාත් (මල් කේස් එකක්)  නිර්නාමික මරණ තර්ජන හමුවේ  දැන් ආච්චී "බොරු දත්සැට් එක" බ්ලොග් අඩවිය නොලියන නිසාත්, මේ දේවල් වෙන කොහෙන් හෝ අහුලාගත් අදහස් ලෙස බැහැර කරන්නට බැරිය. මහින්ද මහත්තයා මුලින්ම තිරයේ දර්ශනය වූ අවස්ථාවේ ආච්චි "තුහ්, නොදකින්.. මූණේ හැටි විතරක්" කියූ අතර...  කටින් නොකියවුනත් මටත් හිතුනේ ඒ ටිකම බව අකමැත්තෙන් වුවද ලියන්නේ ආච්චිට කරන ගෞරවයක් ලෙසින්ය.

හැම දේටම උපදේසකයන් සිටින මහින්ද මහත්තයාට, පුක් මූණක් දමාගෙන ටීවී එකේ පෙනී සිටීම සුදුසු නැතිබව කියන්නට උපදේසකයෙක් පත්කර නැති එක පිළිබඳව මට මුලු පාර්ලිමේන්තුව එක්කම මල පැන්නේය. වහාම එස්.එම්.එස් එකක් මගින් මම මේ ගැන එතුමාට දැන්වූ පසු, කැමරාවට අත වැනීමට තරම් එතුමා නිහතමානීවිය. මම ආච්චීගේ අවදානය එයට යොමු කලේ... "බලන්නකෝ ආච්චියේ, අතවනන්නේ ඔය දැන්, මුලු ලෝකෙටම පේනවනේ අනේ ඉතින්" කියමින්ය. "ඔව් ඔය වනන්නේ.... බලමුකෝ වනලා කරන හරිය.... අත වැනුවට මූනේ හිනා පොදක් තියනවද?... බලපංකෝ ගල් මූසලයා වගේ වනන හැටි... විනාසයි, දැං මොනා බලන්නද තෝත් ගිහින් බුදියගං" සාමාන්‍යයෙන් සිල්ගත් දවසට විතරක් පාවිච්චිකරන වාග් විලාසයෙන් ආච්චී කෑගසනු දුටු විට මට ඇතිවූ බය නිසාම මම ගිහින් බුදියගතිමි.

උදේම ආච්චීගේ හිනාකට දුටුවිට මට සිතුනේ අපි මැච් එක දිනා ඇතිබවය. මම දෙවරක් නොසිතාම මහින්ද මහත්තයා ඇමතීමි. "සර්, ඔන්න මේ සැරේ ඔක්කොම මිත්‍යා විශ්වාසකරයොන්ගේ කටවල් වැහෙයි, විරුද්ධ පක්සේ එවුන්ටත් දැන් ඉතින් කියන්න දෙයක් නෑනේ.... මැච් එක දිනුවේ සර් අතවනපු නිසා බව දැන් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්නවනේ... සර්ට දැන් හරියට ක්‍රීඩා උස්සව වලට ලෝකෙ වටෙන්ම ආරාදනා ලැබෙයි" මම කියාගෙන ගියේ.. මොකක් හරි උපදේසක තනතුරක් ලැබෙනවානම් ඒ සඳහා ඇමක් දැමිය යුතු හොඳම වෙලාව මෙය යැයි හිතුනු බැවිනි. මහින්ද මහත්තයා කියූ දේවල් මම මෙතන සඳහන් නොකරන්නේ සියලුම රාජතාන්ත්‍රික තොරතුරු ප්‍රසිද්ධියේ පැවසීම බටහිර කුමණ්ත්‍රණකරුවන්ට වාසිදායක විය හැකි බැවිනි. එතුමා කරුණාවෙන් කරුණු පහදාදුන් බව කීම ප්‍රමාණවත්ය.

මේ දවස් වල හැමෝම මේ ගැන ලියන නිසා, මාත් මේ ගැන ලිවීම අනවශ්‍ය බව හිතුනත්... මහින්ද මහත්තයාට කතා කිරීමෙන් පසුව මා නැවත පියවි සිහියට පැමිණ අන්දමන්ද වී සිටින අවස්තාවේ කලින් දවසේ රෑ සිදුවූ දෙයක් මගේ මතකයට නැගුණි. මේජර්තුමාට, දුමින්ද අයියාට සිදු වුනා වගේ, මටත් මේක හරියටම මෙහෙම උනාද කියා තහවුරු කල හැකි ක්‍රමයක් නැත. එක්කෝ මට කතා කලේ නාථ දෙයියෝ නොවේය. නැත්නම්, මට කිසිවක් මතක නැත. ඒත් මෙන්න මේ වගේ වල්බූතයක් මගේ හිතට ආවේ කොහොමද කියා ආච්චීට වත් පැහැදිලි කල නොහැකි විය.

--------

නාථ දෙවියෝ පැමින මා අමතයි. "දරුව... දරුව". මම ඇහැරෙන පාටක්වත් නැත.... "යකෝ නැගිටපිය පරයා, තොගෙ අම්මට...." ඉතුරු ටික කියන්න කලින් මම දඩස් ගා ඇහැරුනෙමි. "සර්?" මහත්තුරුන්ට, දෙවියන්ට මෙන් සැලකීමට මම පුරුදු වී සිටියත් ඇත්තටම දෙවියන්ට කොහොම කතා කලයුතුදැයි මම දැන සිටියේ නැත. නමුත් දෙවියෝ අමනාපයක් නොපෙන්වූ නිස මම දිගටම 'සර්' කියා ඇමතීමි. "සර්, මොකද මේ අවේලාවේ?..." බැරෑරුම් මුහුණක් මවාගෙන සිටි දෙවියෝ කලකිරීමෙන් මෙන් මෙසේ කීය. "ටීම් එකෙ කැපිල්ලක් යනවා, අපේ කොල්ලෙකුට". අපිට වෙන ටීම් එකක් නැති නිසා මේ කතාකරන්නේ ක්‍රිකට් ටීම් එක ගැන බව මට වැටහුනි. ඒත් මගේ මුහුණේ අපබ්‍රංසය දුටු දෙවියෝම සිද්ධිය පැහැදිලි කලෝය.

"කීර්ති බංඩාර කොලුවව කපලා..." දෙවියෝ කණස්සල්ලෙන් කියති. "ඒ වෙනුවට අරං තියෙන්නේ අර ඇට පැහිලාවත් නැති මරක්කල කොලුවා. කීර්ති කොලුවා, අපේ ජාතිය විනාස කරන්න බලං ඉන්න 'අරුන්ට' සෙමි ෆයිනල් එකේ ඇඹරෙන්න පන්දු දාපු හින්දා අපේම දේසද්‍රෝහියෝ අටවපු කුමන්ත්‍රණයක් මේක. ඕකට සම්බන්ද හැම එකාටම මම දඬුවම් කොරනවා... කොච්චර ලොක්කෙක් උනත් මම අරින්නේ නෑ... අරිනවා හැම එකාටම....ලොක්කට උනත් එච්චරයි... බලාපියව් මම කොරන දේ...." ගිගිරූ දෙවියෝ අන්තරස්දාන වූහ.

---------

නාථ දෙවියෝ, මාලිංගගෙන් පටං අරන්, මහේලගෙන් නොනැවතී මහින්ද මහත්තයාවත් පේලියට තියා ඇර ඇති බව දැනගත් පසුව, මම මේ විස්තරය ආච්චීට කියාසිටියේ අපි පැරදුනේ මහින්ද මහත්තයා නිසා නොවන බව ඇයට පහදාදෙන්නටය. එතුමාද මේ සිද්ධියේදී අසරණයෙකු බව පෙන්වීමටය. ඒ වගේම මේ කතාව වල්බූත මට්ටමේ පැවතුනත්, තමන්ගේ මතයේම එල්ලී නොසිට යමක් කමක් නුවනින් විමසාබලා සත්‍ය බව වැටහේ නම් පිලිගැනීම තරම් නිහතමානී බවක් ආච්චි වෙත ඇති බව දන්නා නිසාය. "ඈහ් බොල කොල්ලෝ... තෝත් මහ මිත්‍යා දෘස්ටිකයෙක් වෙලානෙ... දෙයියො කොහොමද බොල ක්‍රිකට් මැච් දිනවන්නෙයි පරාද කරවන්නෙයි?" කියා ආච්චී තර්කයක් ගෙනා බැවින් මට අකුලාගන්නට සිදුවුනි. දැන් ඉතින් මෙය විසඳා ගැනීමට මට ඉතිරිව තිබූ එකම මාර්ගය එදා රැයේ සිදුවූවා යැයි මට හිතෙන වල්බූතයේ අවසාන ජවනිකාවය.

---------

දෙවියන්ගේ කෑ ගැසීමට බය වූ මට, මා ලඟ නිදා සිටි බිරිඳගේ ඕනෑ නැති තැනක් නොදැනුවත්වම ඇල්ලුනි. බිරිඳ නිදිමතේම මා දෙසට හැරී තවත් මට තුරුළු විය. බයටම මමත් බිරිඳට තුරුළු වී නිදාගත්තෙමි. ටික වේලාවකට පසුව මාව අහකට තල්ලුකර දැමූ බවක් හැඟුනත් වල්බූතයක් ඇතුලේ නිදිමතෙන් දැනුන දෙයක් මනස්ගාතයක් ලෙස නොසලකා හැරීමට පුලුවන්ය.

---------

මේ ගැන බිරිඳගෙන් ඇසීම සදාචාරයට පටහැනි වුවත්, මගේ හිතේ පැටලිල්ල ලිහා ගැනීමට මේ ගැන බිරිඳගෙන් ඇසීමට තීරණය කලෙමි. ඊයේ රාත්‍රියේ බිරිඳ ඇඳට පැමිණි විට මම ලැජ්ජවෙන් ඇඹරි ඇඹරී මෙසේ ඇසුවෙමි. "ෆයිනල් එක දවසේ රෑ මං ඔයාගේ ඕනෙ නැති තැනක් ඇල්ලුවද..?". එහි ඇති අසබ්ය බව අඩු කිරීමට මම තව කැල්ලක් එකතු කලෙමි... "නිකං හීනෙං වගේ?". බිරිඳ මා දෙස දත්මිටිකමින් බලාසිටි ආකාරය දුටු විට මට හිතුනේ නලිං මහත්තයා මාර්ගයෙන් කෙලින්ම මේ ගැන දෙයියන්ගෙන්ම ඇහුවා නම් ඉවරයි කියාය. "පයිනල්.... මගුල පයිනල්... උලව් ක්‍රිකට් රෙද්දක් පටන් ගත්ත දවසේ ඉඳල බැලුවද තමන්ට ගෑනියෙක් ඉන්නවද කියලා... පිට්ටනියේ මිනිස්සුත් ගෙදර ගියාම තමා තමුසේ ටී.වී එක වහලා ඇඳට එන්නේ... ඒ ඇවිල්ලත් නිකං එක දවසකට ආවද මා ලඟට... මැච් නැති දවසටත් තමුසේ කොම්පියුටරේ බදාගෙන කුරුටු ගගා හිටියා මිසක් ආවද නිකමට වත් මා ලඟට. එනවා මෙතන හීනෙං ඇල්ලුවද අහන්න... හීනෙං තමා අල්ලන්න ඇත්තේ... මොකද පහුගිය මාසෙට නම් තමුසෙට මං ඉන්නවද කියලා වගේ වගක් තිබ්බේ නෑ... දැං ඔය මගුල ඉවරවෙලා දවස් කීයක්ද... මොනාද කාපු රිලවා වගේ තමුසේ තාම ඉන්නේ හරියට.... එන්න එපා මා ලඟට එහෙම... ගිහින් බුදියගන්නවා තමුසෙගෙ මහ ලොකු මහේල හරි සංගා හරි එක්ක..."

නාථ දෙවියෝ කියූ පරිදිම, උන්නාන්සේ මට ද ඇර ඇති බව එක් වරටම සිතුනත්... බිරිඳ ලබා දුන් සාක්කි මත, මා ඇගේ ඕනෑ නැති තැනක් තියා ඕනෙම තැන්වත් පහුගිය මාසයටම අල්ලා නැතිබව සාධාරණ සැකයකින් තොරවම ඔප්පුවෙන්නේය. එසේ නම් නාථ දෙවියෝ පැමිණ නැත.... ඒ මගේ හිතේ ඇඳුණු වල් බූතයක් පමණක් විය යුතුයි. එක අතකින්, මහාචාර්ය පට්ටමක් තියා, ඕ ලෙවල් විද්‍යාව දෙපාරක්ම පේල් වූ මට නාථ දෙවියෝ කතාකලා යැයි සිතීමත් විහිළුවකි. එසේම උන්නාන්සේට මේ විජාතික ක්‍රීඩාවක් වෙන ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් තිබෙන්නටත් බැරිය. එසේ නම් ෆයිනල් එක පැරද්දුවේ නාථ දෙවියන් වෙන්නට බැරිය. ඉතිං, බුද්ධිමත් පුරවැසියෙකු ලෙස දැන් මා හට ඉතිරිව තිබෙන්නේ ආච්චිගේ මතය හරි බව පිළිගැනීම නොවේද?

Wednesday, October 3, 2012

කිසිදාක නොවෙනස්ව....



අපි අපිට මුණ ගැහී
ආදරෙයි කියාගත්
දසවසක මතක පොත
කට පාඩම්ය මට

"කිසිදාක නොවෙනස්ව
ඔයා ලඟ හිඳින්නම්"
කියා නුඹ කියූ විට
දැනුනෙ සතුටක්ය මට

දසවසක් පුරාවට
නුඹ රැක්ක පොරොන්දුව
කඩ කරල දමන්නට
බැරිද පොඩි වෙනසකට

දසවසක් පුරාවෙම
නුඹේ ඔය ගොළුබවට
වචන දෙන්නට හැදුව
මටත් අද වචන නැත

හැමදාම නිහඬවම
හිතේ මොනවද තියන්
නොදොඩාම ඉන්න හැටි
කොහොම ඉවසන්න මම

දස වසක් ගත වෙලත්
නුඹ කවුදැයි කියල
නොදන්නා බව තවම
කියන්නත් දුකයි මට

කේන්තිය පුපුරලා
මං බැණවදිනකොට
කඳුලු වැල් වක්කරං
අඬපංකො ඩිංගකට

මග තොටේ යනෙනකොට
අන් ගැහැණු ලුහුබඳින
සලෙල නෙත් දෙකට මගෙ
රවපංකො ඉඳල හිට

මොන තරම් වැඩ කලත්
අඩුපාඩුම කියන
මගෙ කට වැහෙන්නට
බැනපංකො අනේ මට

හුරතලෙන් වඩාගෙන
ඇඳ මත්තෙ පෙරලගෙන
ඉන්නකොට ආදරෙයි
කියපංකො කණට කර

නොතේරෙන කාලෙ නුඹ
නොතේරෙන කමට දුන්
මළඉලව් පොරොන්දුව
කඩපංකො දවසකට